හොම්බෙන් යාම
රාජපක්ෂ රෙජීමය ගොඩනැඟීමට යන දේශපාලන සංස්කෘතිය අන් කිසිවක් නොව ඊට එරෙහි කිසිවකු නොමැති දේශපාලන සංස්කෘතියකි. රෙජීමයට එරෙහි වන යම් කිසිවකු සිටී නම්, ඒ එරෙහි වන්නන්ට බොහෝ දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුවේ. අගවිනිසුරුවරිය කලක් තිස්සේ රෙජීමයේ හිතේෂිවන්තයකුව සිටියත් ප‍්‍රශ්නය පැන නැඟුණේ එක් වරක ආණ්ඩුව සමග එකඟ නොවූ නිසාය. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පවසන ආකාරයට නම් ප‍්‍රශ්නයට හේතුව දිවි නැඟුම පනතට විරුද්ධ වීමයි. කෙසේ හෝ දෝෂාභියෝගය ගෙන ඒමේ ආණ්ඩුවේ උවමනාව වූයේ තමන්ට එරෙහි වන අය මුහුණපාන ඉරණම පිළිබඳ පාඩමක් සමාජයට ඉගැන්වීමයි. එහෙත් දෝෂාභියෝගය කථානායකවරයාට භාර දී මාසයක් ඉක්ම යන මොහොත වන විට එම අරමුණ ඉටු කරගත නොහැකි අන්දමේ අවාසිදායක පරිසරයක් ආණ්ඩුවට ගොඩනැඟී ඇත.
තත්වය වෙනස් වීම ඇරැඹුණේ අගවිනිසුරුවරිය යටත් වීම පසෙකලා සටන් කිරීමට තීරණය කිරීමත් සමගය. ආණ්ඩුව අපේක්ෂා කළේ දෝෂාභියෝගය භාරදීමත් සමග ඇය ඉල්ලා අස්වනු ඇත කියාය. එහෙත් අගවිනිසුරුවරිය ඉල්ලා අස් නොවූවා පමණක් නොව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීම ද ආරම්භ කළාය. ඇය නීතිඥ සමාගමක් හරහා එල්ල කෙරුණු චෝදනාවලට පිළිතුරු සැපයූ අතර එම පිළිතුරු මාධ්‍ය හරහා සමාජගත විය. මේ තත්වය හමුවේ ආණ්ඩුව කළේ රජයේ මාධ්‍ය යොදවා පහත් පෙළේ අවලාද ප‍්‍රචාරය කිරීම හා මඩ පෝස්ටර් ඇලවීම පමණි. එම ක‍්‍රියාමාර්ගයන්ම පවා ආණ්ඩුව පරාජය දැක කලබල වී සිටින බවට හොඳ සංඥාවක් විය. ආණ්ඩුවේ කලබලය තවත් අනාවරණය වූයේ පසුගිය 23වැනිදා අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පාර්ලිමේන්තුවට ගිය විට ඇයට ‘සැලියුට්’ නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග නිකුත් කිරීම වැනි බාල බොළඳ වැඩවලිනි.
ඒ අතර මහින්ද හා ශිරාණි අතර තිබූ ගැටුම සමස්ත අධිකරණ තන්ත‍්‍රයම රෙජීමයේ දේශපාලන අධිකාරය සමග සටනකට වර්ධනය වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ බව තවදුරටත් තහවුරු වූයේ දෙසැම්බර් 3වැනිදා අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම් මංජුල තිලකරත්නගේ කැඳවීමකට අනුව දිසා විනිසුරුවරුන්, මහෙස්ත‍්‍රාත් අධිකරණ විනිසුරුවරුන් හා කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් කොළඹට පැමිණ පැවැත්වූ රැස්වීමේදීය. එම රැස්වීම ඇමතූ අගවිනිසුරුවරිය තමන්ට ඇති චෝදනාවලට පිළිතුරු දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයාට හා කථානායකවරයාට යැවූ ලිපියක් මගින් විනිශ්චයකාරවරු, මේ සිදුවීමට අදාළ අවලාදාත්මක ප‍්‍රචාරයන් නතර කරන ලෙස ද පරීක්ෂණයේ පාරදෘශ්‍යභාවය සුරකින ලෙස ද ඉල්ලා තිබේ. මෙවැනි තත්වයක් ආණ්ඩුවට අතිශය අවාසිදායක වන අතර දෙසැම්බර් 4වැනිදා ආණ්ඩුව තමන්ට හිතවාදී උද්ඝෝෂණ සඳහා කැඳවා තිබුණේ ති‍්‍රරෝද රථ රියැදුරන් හා මර්වින් සිල්වාගේ මැරවරයන්ය. එවැනි ස්තරවලට පිටස්තර කිසිදු සමාජ බලවේගයක් සටන් බිමට කැඳවීමට ආණ්ඩුව අසමත් වී තිබෙන අතර සමාජයේ ප‍්‍රබුද්ධ හා සබුද්ධික කොටස් වේගයෙන් ආණ්ඩුවෙන් දුරස් වෙමින් සිටී.
උත්තර දෙක
ආණ්ඩුවට සිය අරමුණ ඉටු කරගත නොහැකිවාක් මෙන්ම අගවිනිසුරුවරිය සටන් කිරීමට තීරණය කිරීමත් අධිකරණ විනිසුරුවරුන් පාලනය කරගත නොහැකි වීමත් සමාජ මනෝභාවයන් ආණ්ඩුවට එරෙහිව පෙළගැසීමත් නිසා ඉතාම අවාසිදායක තත්වයක් උද්ගත වී තිබේ. අසීරු අඩියකට වැටී සිටින ආණ්ඩුවට සිය ගැලවීම සඳහා එල්ලෙන්නට ඇත්තේ පිදුරු ගස් දෙකකි. පළමු වැන්න ව්‍යවස්ථාදායකයේ ස්වාධීන අයිතිය පිළිබඳ පිදුරු ගසයි. ආණ්ඩුවේ තර්කය වන්නේ ජනතා පරමාධිපත්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට ඇඟිලි ගැසීමට අධිකරණයට බලයක් නොමැති බවයි. මේ සංවාදය තීව‍්‍ර වූයේ දෝෂාභියෝගය විභාග කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයන් 11දෙනාට දෙසැම්බර් 14වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස අධිකරණය නිකුත් කළ නොතීසි ඉවත දැමීමට කථානායකවරයා තීරණය කිරීමත් සමගය. මතුවී ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයකි. ධනේශ්වර නීතියට අනුව ගත් කල පාර්ලිමේන්තුව නීති පනවන අතර අධිකරණය කරන්නේ එම නීති ව්‍යවස්ථාවට අනුව අර්ථකථනය කිරීම හා නීති ක‍්‍රියාත්මක කිරීමයි. එම තර්කයට අනුව අධිකරණයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැත. නමුත් මෙහි තවත් පැත්තක් ඇත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ව්‍යවස්ථාවට පටහැනිදැයි අර්ථකථනය කළ හැක්කේ අධිකරණයට පමණක් වන නිසා ඒ ගැන ඕනෑම අයකු සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට අධිකරණයට බලය ඇත. මෙම තර්ක දෙකම ශක්තිමත් වන අතර ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයකි.
ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලයේ සංවරණය හා තුලනය ගැන මේ සංවාද විද්වත් කවවල සංවාද බවට පත්ව ඇත. මෙම සංවාදවල දී ජනතාවට කිරීමට දෙයක් නැති අතර කිසිවකු ජනතාවට ක‍්‍රියාකාරීත්වයට කතා කරන්නේ ද නැත. ජනතාවගේ පාර්ශ්වයෙන් ගත් කල පවතින පාර්ලිමේන්තුව ජනතා මතයක් නියෝජනය නොකරන අතර එය පාදඩයන්ගේ, මැරයන්ගේ හා ඉසුරුමත් සිටුවරුන්ගේ කීර්තිය නඩත්තු කරන ව්‍යුහයක් පමණි. එය තුළ ජනතා පරමාධිපත්‍යය නියෝජනය වෙතැයි කථානායකවරයා මෙන්ම විපක්ෂ නායකවරයා ද එක හ`ඩින් කියන විට අපට ඇත්තේ සිනාවීමටය. අනෙක් අතට මේ බලහත්කාරීත්වයෙන් අධිකරණය ගලවා ගැනීම මගින් ජනතාවගේ අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබේය යන මායාවේ කොටස්කරුවන් වීමට ද අපේ කැමැත්තක් නැත. කෙසේ වෙතත් ජනතාවට අදාළ නොවන ව්‍යවස්ථාදායක - අධිකරණ සංවාදය තුළ ආණ්ඩුවට සිය බිඳ වැටීම සඟවාගත නොහැකිය.
මේ තත්වය හමුවේ ආණ්ඩුවට එල්ලිය හැකි එකම පිදුරු ගහ ජාතිවාදයේ පිදුරු ගහයි. මේ අසීරුතාව මැද ආණ්ඩුවට කිව හැකි සටන් පාඨය කුමක්ද? ඒ යුද්ධය අවසන් කළ ආණ්ඩුව තමන් බව යළි මතක් කිරීම හා දෙමළ ජනතාව තළා දැමීමට සූදානම් ආණ්ඩුව තමන් බව සිංහල සමාජයේ ජාතිවාදී හා ලූම්පන් ශ්‍රේණීන්ට ඒත්තු ගැන්වීමයි. පසුගිය දා අලූත්කඬේ අධිකරණය ඉදිරිපිටට පැමිණි ත‍්‍රිරෝද රථ රියැදුරන්ටත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරියේ උද්ඝෝෂණ කළ මර්වින්ගේ මැරයන්ටත් කතා කළ හැකි මනෝභාවය එයයි. ආණ්ඩුව මේ අර්බුදයට මුහුණ දීමට සැරසෙන්නේ වැඩි වැඩියෙන් ජාතිවාදය පැතිරවීමෙන් හා සියලූම සිදුවීම් ඒ සඳහා යොදා ගැනීමෙනි. නොවැම්බර් 26වැනිදා යාපනය විශ්වවිද්‍යාලය තුළ කළ මළවුන් සැමරූ පහන් දැල්වීමේ සිද්ධිය ආණ්ඩුව ආශිර්වාදයක් කරගත්තේය. නොවැම්බර් 30වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී. දර්ශනම් ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වන විට ඉන් එක් අයකු පමණක් නිදහස් කර ඉතිරි තිදෙනා ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත මාස තුනකට රඳවා තබා ඇත. මෙසේ මර්දනය දියත් කරන අතර ආණ්ඩුව එම ජාතිවාදී මනෝභාවයන් අගවිනිසුරුවරියගේ දෝෂාභියෝගය සමග ගැට ගසයි. දෙසැම්බර් 01වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති පොත් එළිදැක්වීමක දී වසර 30ක යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දේ අලූත්කඬේට ගොස් දිනා ගැනීමට උත්සාහ කරනවා යැයි ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය මීට හොඳ නිදසුනකි.
මේ ජාතිවාදී ව්‍යාපෘතිය විසින් මුළු රටම පඹගාලක පටලැවේ. සමාජයක් ලෙස අපට යළිත් මේ වෙනුවෙන් රුධිරයෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත. එහෙත් ආණ්ඩුව පා පැදියේ ගිය ඉබ්බා මෙන් ජාතිවාදී පා පැදියේ යන අතර හඬනඟා කියන්නේ ‘හොද්දට ගියත් සෙකන්ඞ් නොවන’ බවය. හොද්දට යන්නේ රාජපක්ෂ පවුලේ අය නොව සිංහල - දෙමළ - මුස්ලිම් පීඩිත ජනතාවයි. බලලෝභී දේශපාලකයන්ගේ ජාතිවාදී ව්‍යාපෘති නිසා ජීවිත දහස් ගණනින් වන්දි ගෙවූ සමාජය ඉදිරිපිට යළිත් ඒ අවදානම හොල්මන් කරමින් සිටී. මහින්දව දිනවන හෝ අගවිනිසුරුවරිය දිනවන සංවාදය වෙනුවට සමස්ත සමාජයම මේ උගුලෙන් ගලවාගෙන පීඩිතයා දිනවන සංවාදය ආරම්භ කළ යුතුය. එකම විසඳුම එයයි.