Thursday, January 17, 2013

ගුරුදින විග්‍රහය

කිරිබත් සහ මළබත්
විහාර මහ දේවිය නැත්නම් ලංකාවේ ඉතිහාස හෝ මහා වංස කතාව මේ විදිහට ලියැවෙන්නේ නැත. විහාර මහ දේවි චරිතයෙන් පෙන්වන්නේ ලංකාවේ වංස කතාව වෙනස් කරන්න දෛවය විසින් කාන්තාවක් නිර්මාණය කළ ආකාරයය. විහාර මහ දේවියගේ කතාවේ මුල මැද සහ අග විග්‍රහ කර බලන විට ඉතිහාසය විසින් ඇයට පවරපු රාජකාරියක් ඇති බව පෙනෙන්නට තිබේ. එය නම් එකල රජ කළ එළාර රජුගේ පාලනය අන්ධ භක්තියෙන් පිළිගත් ජනතාව සහ එළාරට බයේ ප්‍රාදේශීය රජකම් බේරා ගන්න එළාරගේ පාලනයට අභියෝග නොකළ ප්‍රාදේශීය රජවරු එළාරට එරෙහිව අවදි කිරීමේ අභියෝගය ඇය බාර ගැනීමය.


ඇය තමා නිර්භය එඩිතර කාන්තාවක් බව මුලින්ම පෙන්නුවේ ඇගේ පියා වූ කැලණියේ රජ කළ තිස්ස, තෙරුන් වහන්සේ නමක් මරා දමන්න ගත් අසාධාරණ තීන්දුවට එරෙහිව ස්වභාවධර්මයා කෝප වී මුහුද ගොඩගලපු අවස්ථාවේය. මුහුද ගොඩගැලීමේ ශාපයෙන් ජනතාව මුදා ගන්න නම් මිනිස් බිල්ලක් දිය යුතු යැයි දෛවඥයන් කියද්දී මිනිස් බිල්ලක් හොයාගන්නේ කෙසේදැයි සිතමින් රජු අසරණ විය. රජුගේ දූ කුමරිය විහාර මහ දේවිය මුහුදට බිලිවීමට කැමැති වූයේ ජනතාව එම ශාපයෙන් මුදා ගන්නටය. ඇය රැගත් යාත්‍රාව මුහුදට පා කළ විට මුහුද ගොඩගැලීම නතර විය. ඇය රැගත් යාත්‍රාව ගසාගෙන ගියේ දකුණටය. එහි රජ කළ ප්‍රාදේශීය රජෙකු වූ කාවන්තිස්ස ඇයව විවාහ කර ගත්තේය.


එළාර රජුට බියේ සිටි කාවන්තිස්ස රජතුමාව එළාරට එරෙහිව මෙහෙයවන්න ඇය පළමු පියවර ගත්තේ දුටුගැමුණු කුමරා කුසෙහි සිටියදීමය. මහා වංස කතාවට අනුව විහාර මහ දේවියගේ කුසෙහි ගැමුණු කුමරා පිළිසිඳ ගෙන සිටියදී එළාර රජුගේ ප්‍රධාන යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා එහි ජලය බොන්න ‍ෙදාළ දුකක් ඇති විය. එළාර ඉදිරියේ නිවට නියාලුව සිටි කාවන්තිස්සට සිය බිසවගේ ‍ෙදාළ දුක සංසිඳුවන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු විය. ඔහු කෙසේ හෝ බිය සැක හැර සිය යෝධයා වූ වේළුසුමන අනුරාධපුරයට යැව්වේ එළාරගේ යෝධයා මරා එම කඩුවත් හිසත් රැගෙන එන්නටය.


විහාර මහ දේවිය එම ‍ෙදාළදුක මුවාවෙන් කාවන්තිස්ස රජුගේත් රට වැසියාගේත් එළාර රජු කෙරෙහි ඇති බිය නැති කරවන්න උත්සාහ කළේ එලෙසය. එසේම එළාරගේ රජදහනට ගොස් ඔහුට හානියක් කොට නිරුපද්‍රිතව එන්න යෝධ සෙනෙවියෙක්ද ඇය ඒ හරහා නිර්මාණය කළාය.
දුටුගැමුණු තරුණ වියට පත්වූ පසු ඇය දුටුගැමුණුව එළාරට එරෙහි සටනට සූදානම් කළේ කාවන්තිස්ස එම අභියෝගය බාර නොගන්නා බව දැනය.
විහාර මහ දේවිගේ ඒ ඓතිහාසික කාර්ය භාරය එස්. මහින්ද හිමියන් කවි කළේ මෙලෙසය.


රටක් ගලවන්න මුවගින් පරිහානි
කතක් තවම ඔබ මෙන් පොහොසත් නූනි
මතක් වන එබව මගේ පෙම්බර මෑණි
කෙතෙක් හොඳද ලෝකෙට සිංහල ගෑනී


එස්. මහින්ද හිමියන් මෙලෙස කවියෙන් කීවේ විහාර මහ දේවිය මෙන් කතක් යළි ඉපදෙයි දැයි නොදැනය.
ඒත් අද මෙරට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මුල් කර ගෙන දිග ඇදෙන දෝෂාභියෝග සටන දෙස බලන විට ශිරාණි බණ්ඩාරනායකගේ වීර කාව්‍යයත් විහාර මහා දේවිගේ වීර කාව්‍යයත් අතර සමානකම් නැතිවා නොවේ.


මහින්දගේ ආණ්ඩුවත් එදා එළාරගේ ආණ්ඩුවට සමානය. ඔහුට අභියෝග කරන්න විපක්‍ෂයක් නැත. ඔහුගේ ආණ්ඩුවෙන් බැට කන ජනතාව නැගිට්ටුවන්න කවුරුවත් නැත. එම නිසා ඔවුන් අකැමැත්තෙන් වුවද නිහඬව සිටී.


ශිරාණි බණ්ඩාරනායක ඇතුළු විනිසුරු මඬුල්ල දිවි නැඟුමට එරෙහිව දුන් තීන්දුවත්, ඉන් පසු ආණ්ඩුවෙන් ආ තර්ජනයත් හමුවේ ඇය නොසැලී සිටි ආකාරයත් විහාර මහ දේවිය මුහුදට බිලි වෙන්න ගත් තීරණයට නොදෙවැනි නැත.
'මේ සටනින් මට සියල්ල අහිමි වුවත් ජනතාවට යමක් ඉතිරි කර යන්න මට පුළුවන්.'


ඇයගේ මෙම කතාවෙන්ම පේන්නේ මහින්දගේ ආණ්ඩුව නම් වූ මුහුදට ඇය පැන්නේ මුළු රටම වෙළාගත් බිය අධිකරණයත් ගිල ගතහොත් ජනතාවගේ නිදහස අහිමි වෙන බව දැනගෙනය. ඇය එයට එරෙහිව සටන් කරන්න ගන්නා වූ තීරණය මුහුදට බිලි වෙන්න විහාර මහා දේවී ගත් තීරණයත්, එළාර රජුට එරෙහිව කාවන්තිස්ස රජු ඇතුළු රටවැසියා සටනට සූදානම් කරන්න ගත් තීරණයට සමානය. දෝෂාභියෝගයට මුහුණ දෙන්නටත්, දෝෂාභියෝගය තුනෙන් දෙකකින් සම්මත වී තිබියදී අගවිනිසුරු ධුරයෙන් ඉවත් නොවන්නටත් ගත් තීරණ මහා සිංහල වංස කතාවේ විහාර මහා දේවියට හැරෙන්න අන් කාන්තාවකට ගත හැකි යැයි සිතිය නොහැකිය.


ඇය දිවි නැඟුම පනතට එරෙහිව දුන් තීන්දුවට පසු ආණ්ඩුවෙන් ආ බලපෑම්වලට හිස නැමුවා නම්, ඇය තමාට එරෙහි දෝෂාභියෝගයට බයේ ධුරයෙන් ඉවත් වූවා නම් දෝෂාභියෝගය තුනෙන් දෙකකින් සම්මත වූවාට පසු එයට බයේ ඉවත් වූවා නම් අද මහින්දගේ ආණ්ඩුව දිනුම්ය.


'ඒ කියන්නේ දෝෂාභියෝගයෙන් මහින්දගේ ආණ්ඩුව පැරදුණාද.......?'
'මොන ඔළමොට්ටළ කතාවක්ද ඒ................?'
'ඒක තමයි වර්ෂයේ හොඳම විහිළුව.......'
මෙහෙම අහන්නේ, මෙහෙම කියන්නේ අගවිනිසුරු නිල නිවෙස ඉදිරිපිට ඇමැතිවරු කෑවේ කිරිබත් කියල හිතාගෙන ඉන්න අයය. ඒ කෑවේ ජයග්‍රහණයේ කිරිබත් නොව පරාජයේ මළබතය.


ඔවුන් දිනල කිරිබත් කන්න ඕනා අගවිනිසුරුවරිය ඉවත් වූවා නම්ය. එසේ වූවා නම් දෝෂාභියෝගයට එරෙහිව අධිකරණය දුන් තීන්දු අතීතයට එක් වේ. එහි බලයක් නැති වේ. එවිට මහින්ද පත් කරන අගවිනිසුරුවරයාගේ ධුරයේ නෛතික බලය ප්‍රශ්න කරන්න කිසිවකුට නොහැකිය. ඇය ඉවත් නොවීමෙන් දෝෂාභියෝගයට එරෙහිව අධිකරණය දුන් තීන්දු බල සහිතය. ඒ අනුව දෝෂාභියෝගයට එරෙහිව දුන් තීන්දුවල නෛතික බලය මත ඇය තවමත් මෙරට අගවිනිසුරුය. මහින්ද පත් කළ නව අගවිනිසුරුවරයා දෙන තීන්දු සහ තීරණවල නෛතික බලය ගැන ඉදිරියේදී මෙරට අධිකරණයේ පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයේද ප්‍රශ්න කිරීම්වලට ලක් විය හැකිය.


අනෙක දෝෂාභියෝගය නිසා 2008 අය - වැයට පසු පළමුවරට මහින්දගේ තුනෙන් දෙකේ ආණ්ඩුවෙන් මන්ත්‍රිවරු හතර දෙනෙක් ආණ්ඩුවට එරෙහි වී ඇත. එරෙහි වී ඇත්තේ 1956 දීත්, 1960දීත්, 1970 දීත්, 1994 දීත් ශ්‍රී ල.නි.ප.යට බලයට එන්න පාර කපල දුන්න පරණ වමය. ප්‍රමාණයෙන් කුඩා වුණත් මෙය මහා ගුණාත්මක පිපිරිල්ලකි. එළියෙන් ඇතුළට මිස ඇතුළෙන් එළියට යෑමට නොහැකි සේ සවි ශක්තිමත්ව හදා ඇති මහින්දගේ බලකොටුවේ යකඩ ගේට්ටු කඩා ඕනෑම අයෙක්ට එළියට යන්න තියෙන බය නැති කරපු පිපිරිල්ලකි.


1975ට පසු කොන්ද කඩා ගත්තා යැයි කී පරණ වම යළි ජාතියට කොන්ද පෙන්නූ පළමු අවස්ථාව මෙයය. අනාගතයේ මේ වගේ යෝධයන් බලකොටුවේ ගේට්ටු කඩාගෙන එළියට ආවොත් මහින්දගේ ආණ්ඩුව හාන්සිය. වැටෙන්නේ නැහැ වට්ටන්න බැහැ කිව්ව ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම ආ පළමු තර්ජනය මෙයය.
මෙතැනට පාර කපල දුන්නේ ශිරාණි බණ්ඩාරනායක නම් වූ නූතන විහාර මහා දේවියය. ඇයට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගන්න යැයි මෙරට මහ නායක හිමිවරු ඇතුළු අනෙකුත් ආගමික නායකයන් දෙවරක්ම ඉල්ලා සිටියදී එයට කන් නොදුන් මේ ආණ්ඩුව එළාරට නොදෙවැනි ආණ්ඩුවකි.


අගවිනිසුරුවරිය පිටුපස එන්.ජී.ඕ. කල්ලි, විදේශ ඔත්තු සේවා සිටිනවා යැයි චෝදනා කළ දේශහිතෛෂීයෝ, දේශප්‍රේමියෝ, ජාති මාමකයෝ මේ මහා දේශප්‍රේමී දේශ හිතෛෂී, ජාතිමාමක ශාසන ළැදි ආණ්ඩුව ගමේ ඉස්කෝලෙට ගිය සිංහල බෞද්ධ කුල කාන්තාවක් වූ අගවිනිසුරුවරියව ඇදලා එළියට දමන විට හුරේ දැම්මේ ලජ්ජාවකින් තොරවය. අද ගලේ පහරපු බළලෝ වගේ බලාගෙන ඉන්නේ ජාති ආලය, ශාසන ආලය, දේශප්‍රේමය බල්ලට දමලාය. අන්‍ය ආගමිකයකු ආණ්ඩුවේ උසස් ධුරවලට පත්වන විට අන්‍යාගමික කුමන්ත්‍රණ කියා කෑ ගසන මේ දේශප්‍රේමීන් අද ඉන්නේ කටවල්වල මුකවාඩම් දමාගෙනය. හිටපු අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව එ.ජා.ප.ය දෝෂාභියෝගයක් ගෙන ආ වෙලාවේ මේ දේශප්‍රේමීන් කීවේ සරත් සිල්වාට පසු අගවිනිසුරු ධුරයට පත්වීමට සුදුසුකම් ලැබ තිබෙන විනිසුරුවරයා කතෝලිකයකු බවත්, මෙය පල්ලියේ කුමන්ත්‍රණයක් බවත්ය.


කොහොමත් ආණ්ඩුවත් එක්කම අද මේ දේශප්‍රේමීයොත් ඉන්නේ පරාජය වී කුජීත වෙලාය. මොවුන් හිතන්නේ තමන් දින්නා කියලාය. මොවුන් හිතන්නේ රටේ මිනිසුන්ට මේ ප්‍රශ්නේ දැනෙන්නේවත් නැහැ කියාය.


ටී.ඩී.එස්. දිසානායක ලියපු ජයවර්ධනගේ ලංකාව නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි 1970 - 77 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ එකල අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අධිකරණය තුළ ඇති දැඩි කොට හදාගත් විනිසුරුවරයෙක් සිටියේය. ඔහුව අධිකරණයේ ඉහළම තැනට රැගෙන ආ ෆීලික්ස් ඩයස් ඔහු ලවා ආණ්ඩුවට ඕනෑ තීන්දු ලියවා ගත්තේය. ඔහුගේ නම ජයා පතිරණය. ඒ කාලයේ කොළඹ ශාන්ත තෝමස්, රෝයල් පාසල් ක්‍රිකට් තරග පවත්වද්දී විනිසුරුවන් වැරැදි තීන්දු දෙන විට කොල්ලෝ කෑ ගැහුවේ 'අඩෝ ජයා' කියලාය. පසුව මෙය ගමේ පාසලේ ක්‍රිකට් තරගවලටත් ගියේය. අවසානයේ ජයා පතිරණ විනිසුරුවරයාට පාරේ බැහැල යන්නත් බැරි විය. පාරේ යන කොල්ලො කුරුට්ටොත් 'අඩෝ ජයා' කියල කෑ ගැසූහ.


හෙට අනිද්දා වන කොට ලෝකයා ලංකාවට කෑ ගහන්නේ අඩෝ කියල නොව 'පරෙයා ස්ටේට්' කියලාය. පරෙයා ස්ටේට් කියන්නේ ආර්ථික සම්බාධක පනවල ජාත්‍යන්තර සම්බන්ධතා අත්හිටුවල ලෝකයෙන් කොන් කරපු රාජ්‍යයන්ට. එ. ර්ථීචපඪචඩ කියන වචනයට සිංහල ශබ්ද කෝෂයේ තියෙන්නේ පරයා, නීචයා, කියන වචනය.


උපුල් ජෝශප් ප්‍රනාන්දු

Monday, January 14, 2013


අවිචාරය, උද්දච්චකම හා අශීලාචාරත්වය

වික්ටර් අයිවන් [Sunday, January 13, 2013]
මීට පෙර බලයේ සිටි කිසිම ආණ්ඩුවක් නොකළ බරපතළ හා සාහසික වරදක් අගවිනිසුරු අර්බුදයේදී මේ ආණ්ඩුව විසින් කර තිබේයැ යි කිවහැකිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හා අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දු හා නියෝග නොසලකා ක‍්‍රියාකිරීමය. ඒ මගින් ආණ්ඩුව අධිකරණයේ සුජාතභාවය අහෝසි කරන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීම මගින් ආණ්ඩුවේ සුජාතභාවයද අහිමි කරගෙන තිබේයැ යි කිව හැකිය. 

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 125 (1) වගන්තිය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට අදාළ ප‍්‍රශ්න විභාග කොට තීන්දුදීමේ තනි හා අනන්‍ය බලය පැවරී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව භාරගැනීම පළමු කොට ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළේය. 

ලෝකයේ ලොකු කුඩා කිසිම ව්‍යවස්ථාවක ව්‍යවස්ථානුකූලව විසඳාගත යුතු සියලූ ප‍්‍රශ්න ව්‍යවස්ථාවට අඩංගුවන්නේ නැත. සමහර ව්‍යවස්ථා ඉතාමත් කුඩාය. ඇමරිකන් ව්‍යවස්ථාව වගන්ති කොටස් තුනකින් යුතුය. එහි මුල් පිටපතේ දීර්ඝ බව, අතින් ලියන ලද පිටු 9ක් විය. වචන සංඛ්‍යාව 7000කි. ඉන්දියානු ව්‍යවස්ථාව සැලකෙනුයේ ලෝකයේ තිබෙන දීර්ඝතම හා විස්තරාත්මක ව්‍යවස්ථාව වශයෙනි. එය වගන්ති කොටස් 395කින්ද, උපලේඛන 9කින්ද යුතුවිය. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකම සංවර්ධනය වී තිබෙන්නේ ඒවාට ඉදිරිපත් කැරෙන ව්‍යවස්ථා සංශෝධන හා අර්ථ නිරූපණ ඔස්සේය. ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලය තිබෙන්නේ අධිකරණයට නොව ව්‍යවස්ථාදායකයටය. එහෙත් ඒවා ආණ්ඩුක‍්‍රමයේ දර්ශනයට අනුකූලද යන්න සොයාබැලීමේ සමාලෝචන බලය තිබෙන්නේද අධිකරණයටය. තවදුරටත් පැනනැගෙන ප‍්‍රශ්නවලදී ඒවා අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේද අධිකරණයටය. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය කිසිදු රටක් අධිකරණයෙන් බැහැර කොට ව්‍යවස්ථාදායකය වෙත පවරාගෙන නැත. 

සාමාන්‍යයෙන් ශිෂ්ටසම්පන්න හැම ව්‍යවස්ථාවක් පාහේ දේශපාලන බලය මහජනයාගෙන් ලැබෙන බලයක් ලෙස පිළිගනී. අපේ රටේ ව්‍යවස්ථාව මහජන බලයට වඩා ජනාධිපතිගේ පරම බලයට බර තබා සකස් කරන ලද ව්‍යවස්ථාවක් වුවද එයද බොරුවට හෝ මහජනයාගේ පරමාධිපත්‍යය බලය පිළිගනී. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරිමේදී මහජන බලය සැලකිල්ලට ගැනීම අධිකරණයේ වගකීමක් හා යුතුකමක් ලෙස සැලකේ. පාලකයාට අනිසි බලයක් පවරා ගැනීමට ඉඩ නොතබා මහජනයාගේ නිදහස ආරක්ෂා කැරෙන ආකාරයට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම අධිකරණයේ වගකීම ලෙස සැලකේ. 

ව්‍යවස්ථා අර්ථ නිරූපණය ආණ්ඩුක‍්‍රමයක තිබිය යුතු ඉතා අත්‍යවශ්‍ය වැදගත්ම අංගයක් ලෙස සලකන්නට වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. හේතුව මහජන බලයෙන් තේරී පත්වන පාලකයකු ඒකාධිපතියකුගේ තත්ත්වයට පත්වූ විට සිදුවිය හැකි විනාශය කොතරම් විශාලද යන්න හිට්ලර්ගේ විනාශකාරී අත්දැකීම් විසින් පෙන්වා දී තිබීම නිසාය. එම බිහිසුණු අත්දැකීමෙන් පසුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය අධිකරණයට ලබාදීමෙන් ව්‍යවස්ථාදායක ඒකාධිපති පාලනයක් ඇතිවීම වැළකිය හැකිවනු ඇතිය යන්න ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි න්‍යායවාදීන් අතර පිළිගත් මතයක් බවට පත්විය. ඉන්පසු බොහෝ රටවල් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය අධිකරණය වෙත ලබාදෙන ලද අතර පසුව එය ලෝකය පොදුවේ පිළිගත් ව්‍යවස්ථා සම්ප‍්‍රදායයක් බවට පත්වීයැ යි කිවහැකිය. බි‍්‍රතාන්‍යය හා ඩෙන්මාර්කය හැර අනෙක් හැම රටක්ම පාහේ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ඒ සඳහාම ඇති කළ විශේෂ අධිකරණ ආයතනයකට පවරා තිබේයැ යි කිව හැකිය. 

රිට් ආඥා බලය 

පුද්ගලයකුට නීතියට පටහැනිව හානියක් ඇති කරන ආකාරයට මුල් අවස්ථා අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක හෝ වෙනත් ආයතනයක් විසින් දෙන ලද තීන්දුවකදී අභියාචනාධිකරණයක් ඉදිරියට ගොස් තමාට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බැවින් ඒ ගැන නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තියෙන් ලබාදී තිබුණේය. එවැනි අවස්ථාවකදී දඬුවම් කරනු ලැබූ ආයතනයේ වාර්තා සෝදිසි කිරීමේ හා පරීක්ෂා කිරීමේ බලයද නීතිය අනුව සර්ටියෝරාරි, ප්‍රෙසිඩෙන්ඩෝ, මැන්ඩාමුස් හෝ ක්වෝවොරොන්ටෝ ගණයේ රිට් ආඥා නිකුත් කිරීමේ සම්පූර්ණ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණයට ලබාදී තිබුණි. 

රිට් ආඥා සම්ප‍්‍රදාය එංගලන්තයේ දෙවැනි එඞ්වඞ් රජුට පෙර සිටද තිබී එඞ්වඞ් රජුගේ කාලයේදී හොඳින් තහවුරු වී, පසු කාලයකදී ලෝකයේ ශීලාචාර බොහෝ රටවල් සිය නීති සම්ප‍්‍රදායයන්ට එකතු කරගෙන ඇති නීති සිද්ධාන්තයක් ලෙස සැලකිය හැකිය. එය සැලකුණේ පැහැරහැරීමට කිසිදු ඉඩක් නැති රජුගේ ආඥාවක් ලෙසය. එය ලංකාවේද 1835 සිට පැවත එන සම්ප‍්‍රදායකි. 

රිට් ආඥා ක‍්‍රමය ලංකාව බි‍්‍රතාන්‍ය යටත්විජිතයක්ව පැවති යුගයේදී ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයාට එරෙහිව පාවිච්චි වූ අවස්ථාවක් පවතී. ඒ කාලයේදී ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා අපේ කාලයේ විධායක ජනාධිපතිටත් වඩා බලවත් විය. වතු පාලකයකු ලෙස ලංකාවට පැමිණ සිටි බ්‍රේස්ගර්ඞ්ල් නමින් වන ඕස්ටේ‍්‍රලියානු ජාතික වතු පාලකයකු, ලංකාවේ සමසමාජ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක‍්‍රියාකළේය. සමසමාජ පක්ෂය විසින් නාවලපිටියේදී පවත්වන ලද ප‍්‍රසිද්ධ රැුස්වීමක් අමතා කතා කරමින් බ්‍රේස්ගර්ඞ්ල් සුදු වතු පාලකයන්ගේ කටයුතු බලවත් ලෙස විවේචනය කළේය. ඒ ගැන සුදු වතු පාලකයන් මගින් ස්ටබ්ස් ආණ්ඩුකාරයාට දැනගන්නට ලැබී සුදු වතු පාලකයකු සමසමාජ ව්‍යාපාරයට එකතු වී සිටීම ගැන කෝපයට පත්වූ ආණ්ඩුකාරවරයා බ්‍රේස්ගර්ඞ්ල් 1937 අපේ‍්‍රල් 27 වැනි දිනට පෙර පැය 48ක් තුළ ලංකාවෙන් පිටවී යායුතු බවට නියෝග කළේය. 

සමසමාජ පක්ෂය ටික දිනක් බ්‍රේස්ගර්ඞ්ල් සඟවාගෙන සිට ඉන්පසු පොලීසියට අත්අඩංගුවට ගැනීමට සලස්වා ආණ්ඩුකාරයාගේ පිටුවහල් නියෝගයට එරෙහිව රිට් ආඥාවක් ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එම පෙත්සම විභාගයට ගැනුණේ අගවිනිසුරු ඒබ‍්‍රහම්ස් ප‍්‍රමුඛ රජ තුන්කට්ටුවක් ඉදිරියේය. පුද්ගලයකු රටින් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරවරයාට ලැබී තිබෙන බලය කිරීටයෙන් ලැබී තිබෙන විශේෂ බලයක් නිසා යටත්විජිත ලේකම්වරයාට හැර ඒ ගැන ප‍්‍රශ්න කිරීමේ බලයක් අධිකරණයට නැති බවට නීතිපතිවරයා එහිදී තර්ක කළේය. එහෙත් රජ තුන්කට්ටුව නීතිපතිගේ තර්කය පිළිගත්තේ නැත. ආණ්ඩුකාරයාට ඒ බලය පාවිච්චි කළහැක්කේ යුද්ධයක් හෝ කැරලිකාර තත්ත්වයක් පවතින විශේෂ අවස්ථාවකදී පමණක් බව ප‍්‍රකාශ කරමින් බ්‍රේස්ගර්ඞ්ල් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළේය. මා මේ මගින් උත්සාහ කරන්නේ රිට් ආඥා සම්ප‍්‍රදායට තිබෙන බලමහිමයේ ප‍්‍රමාණය පෙන්නුම් කිරීමය. 

ශීලාචාරකම අහිමි කරගැනීම 

එය මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් පාලන අධිකාරියක් විසින් දෙනු ලබන නීතියට පටහැනි අසාධාරණ තීන්දුවකදී අසාධාරණයට ලක්වූ පුද්ගලයාට සහන ලබාගැනීමට තිබෙන බලවත්ම ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පමණක් ඊට පෙර අගමැති ධුරය හෙබවූ සිරිමා බණ්ඩාරනායක මහත්මියද ඇයට එරෙහිව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නියමයෙන් ඇගේ පාලන කාලයේදී සිදුවී තිබූ වැරදි සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එරෙහිව සර්ටියෝරාරි ආඥාවක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. ඒ මොහොත වනවිට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබූ එජාප ආණ්ඩුව අතිවිශාල බලයක් හිමිකරගෙන තිබුණේය. ඒ බව නොසලකා අභියාචනාධිකරණය ඇගේ දුක්ගැනවිල්ලට ඇහුම්කන්දී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව බලරහිත කරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කළේය. ආණ්ඩුව එම ආඥාව ජයගත්තේ දෙන ලද නියෝගය ප‍්‍රතික්ෂේප කිරීමෙන් නොව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එවැනි නඩුකරයක අධිකරණ බලය අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදීමෙනි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද පුහු තර්කය වූයේ ජනාධිපති විමර්ශන කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන නිසා ඔවුන් කරන විමර්ශනයක් සම්බන්ධයෙන් තීන්දුදීමේ බලය ඊට වඩා පහළ අධිකරණයකට ලබාදීමට නුසුදුසු බවය. එය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකතු කළ පළමු සංශෝධනය විය. 

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියටද තමන්ට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙන ලද තීන්දුවට එරෙහිව සර්ටියෝරාරි ආඥාවක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට යන්නට සාධාරණ අයිතියක් තිබුණේය. අභියාචනාධිකරණයටද තේරීම් කාරක සභාවේ තීන්දුව සලකා බලා අවශ්‍ය නම් එය නිෂ්ප‍්‍රභ කරන්නට නීත්‍යනුකූල අයිතියක් සේ ම බලයක්ද තිබුණේය. විටෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තවත් විටෙක අභියාචනාධිකරණය විසින් ද දෙන ලද එම තීන්දු අසාධාරණ හා නීතියට අනුකූල නොවේ නම් ආණ්ඩුව කළයුතුව තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කැරෙන ආකාරයට එම තීන්දු භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නොව අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව ප‍්‍රතිශෝධන අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමය. 

අධිකරණයට අවනත නොවන්නේද අධිකරණය බලය පිළිනොගන්නේද සාමාන්‍යයෙන් නීතියට පටහැනි දේවල් සිය ජීවන වෘත්තිය කොටගත් අපරාධකාරී පසුබිමක් ඇති ලූම්පන් වර්ගයේ මිනිසුන්ය. ඔවුහු තමන්ට එරෙහිව අධිකරණය දෙන නියෝග නොසලකා, අධිකරණයට ඉදිරිපත් නොවී අත්අඩංගුවට ගන්නා තෙක්ම තව තව අපරාධකාරී ක‍්‍රියාවල යෙදෙන්නෝය. ශීලාචාර මිනිස්සු නීතියට ගරු කරන්නෝය. එවැනි අය තමන්ට එරෙහිව අධිකරණය දෙන අසාධාරණ නියෝග හා අසාධාරණ නඩු පැවරුම්වලදී පවා අධිකරණය මගහරින්නේ නැත. එවැනි අවස්ථාවලදී පවා සාමාන්‍යයෙන් සිදුවන්නේ අධිකරණය ඉදිරියට ගොස් තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කොට ඉන් නිදහස්වීමය. 
අධිකරණය හැමවිටම සාධාරණ වන බව ඉන් අදහස්වන්නේ නැත. අධිකරණයද අපේ රටේ අන් හැම ආයතනයක් සේ ම දූෂිතය. එහෙත් එහි තිබෙන දූෂණයන්ට එරෙහිව සටන් කළයුත්තේ අධිකරණයේ බලමහිමය පිළිගනිමින් හා ඊට ගරුකරමිනි. 

ආණ්ඩුව මෙම අර්බුදයේදී අධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දු නොසලකා ක‍්‍රියාකිරීම මගින් කර තිබෙන වරද ඉතා බලවත්ය. ඒ මගින් මහජනයාගේ ආරක්ෂාවට තිබෙන ප‍්‍රධාන නීති සිද්ධාන්ත දෙකකට (ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන අර්ථ නිරූපණ බලය හා අභියාචනාධිකරණයට තිබෙන රිට් ආඥා බලය) තිබෙන පිළිගැනීම අහිමිකර තිබේ. අනෙක් අතට අධිකරණයට තිබෙන බලමහිමය ප‍්‍රතික්ෂේප කිරීම මගින් රට නීතියක් නැති අරාජික තත්ත්වයකට යොමුකර තිබෙන අතර ඒ මගින් ආණ්ඩුව තමන්ගේ සුජාතභාවයද අහිමි කරගනිමින් අශීලාචාර ආණ්ඩුවක් වශයෙන් බෞතීස්ම කොට ගෙන ඇතැයිද කිවහැකිය. 

අලූත් නීති සම්පාදනයකින් තොරව දෝෂාභියෝගයක් සඳහා තිබෙන ස්ථාවර නියෝග යටතේ වුවත් පවත්වනු ලැබූ පරීක්ෂණය එහි අවසානයේ අධිකරණ සමාලෝචනයට ඉදිරිපත් වන්නට ඉඩ තිබෙන බව කල්තියා තේරුම් ගනිමින් ස්වාභාවික යුක්තියේ මූලධර්ම උපරිම ලෙස ආරක්ෂා කැරෙන ආකාරයට එම පාර්ලිමේන්තු පරීක්ෂණය සිදුකළේ වී නම් මේ සා විශාල අර්බුදයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. ස්වාභාවික යුක්තිය යන්නෙන් අදහස් කරන්නේ සාධාරණව ක‍්‍රියාකිරීමය. ඒ සඳහා පළමු කොට අගවිනිසුරුවරියට ඇයට එරෙහිව තිබෙන චෝදනා ගැන පැහැදිලිව දැනුම්දීමක් කළ යුතුව තිබුණු අතර, චෝදනා පත‍්‍රය සමග කැඳවන්නට අපේක්ෂා කරන සාක්ෂිකරුවන් හා සාක්ෂි ලේඛන මොනවාද යන්න ගැන විස්තරයක් ලබාදිය යුතුව තිබුණි. අවශ්‍ය නම් නීතිඥ සහාය ලබාගනිමින් චෝදනාවලට පිළිතුරුදීමට සාධාරණ කාලවේලාවක් ලබාදිය යුතුව තිබුණි. 

සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට සේ ම, සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛන හබයට ලක්කිරීමටද ඉඩදිය යුතුව තිබුණි. පූර්ව විනිශ්චයකින් තොරව සාධාරණව කරුණු සලකා බලන ප‍්‍රතිපත්තියක් සේ ම තීන්දු කිරීමේ ක‍්‍රියාවලියද සාධාරණව සිදුකළ යුතුව තිබුණි. 

තේරීම් කාරක සභාව එසේ කිරීමට සමත්වී නම් අධිකරණ සමාලෝචනයකදී ආත්ම විශ්වාසයකින් යුතුව අධිකරණය ඉදිරියට ගොස් ඊට මුහුණදීමේ හැකියාව තේරීම් කාරක සභාවට ලැබෙන්නට ඉඩ තිබුණි. ඔවුන් කරන ලද පරීක්ෂණයට හා දෙන ලද තීන්දුවට අධිකරණයෙන්ද පිළිගැනීමක් ලබාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. 

ඇත්තටම සිදුවී තිබෙන්නේ ඊට පටහැනිව සියල්ල අනාගැනීමය. ඇතිවී තිබෙන මෙම අර්බුදය එම අනාගැනිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. 

විය හැක්කේ කුමක්ද? 

ආණ්ඩුව අධිකරණය දී තිබෙන තීන්දු නොසලකා අගවිනිසුරුවරිය තනතුරින් පහකිරීම සඳහා ආරම්භ කොට පවත්වාගෙන යන ක‍්‍රියාදාමය තර්කානුකූල අවසානයක් දක්වා ඉදිරියට ගෙනයෑමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ. එහෙත් එය ආණ්ඩුව හිතන තරම් සරල හෝ පහසු දෙයක් වන බවක් පෙනෙන්නට නැත. අධිකරණය විසින් දී තිබෙන තීන්දු දෙක නිසා නිල බලයෙන් අගවිනිසුරු ධුරයේ නීත්‍යනුකූල හිමිකම ඇත්තේ ශිරාණි බණ්ඩාරනායකටය. දෝෂාභියෝග යෝජනාව සම්මත කොට ජනාධිපතිගේ නියමයෙන් නව අගවිනිසුරුවරයකු පත්කළද ඒ නිසා ශිරාණි බණ්ඩාරනායකගේ තනතුර අවලංගුවීමක් සිදු නොවන නිසා ඇය දර්ශනයෙන් ඉවත් කිරීම සඳහා කායික බලයෙන් ඇය ඉවත් කිරීමට හෝ ඇය අත්අඩංගුවට ගැනීමට හෝ ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. එවැනි දෙයක් කළා වුවද එකම තනතුරට අගවිනිසුරුවරුන් දෙදෙනකු සිටීම පිළිබඳ ප‍්‍රශ්නය අවසන්වන්නේ නැත. දැනටමත් අධිකරණය අගවිනිසුරුවරියට වාසිදායක තීන්දු දෙකක් දී තිබෙන තත්ත්වය ඉදිරියේ නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම වළකන හෝ පත්වූ අගවිනිසුරුවරයාගේ පත්වීම නිෂ්ප‍්‍රභ කරන අධිකරණ නියෝගයක් පනවන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. 

පාකිස්තානු නිදර්ශනය 

ඇතිවන්නට නියමිත තත්ත්වය යම් තරමකට 2007 වසර අවසානයේදී මුෂ්රාෆ් නැවත බලයට පත්වීමෙන් පසු හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයට සමාන විය හැකිය. 

මුෂ්රාෆ් 2007 නොවැම්බර්වලදී නැවත ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව නොවැම්බර් 3 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා බලපාන ආකාරයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කොට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මකවීමද තාවකාලිකව අත්හිටුවන ලදි. එහෙත් නොවැම්බර් 2 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට බැරිස්ටර්වරයෙකු ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීම වළකන තහනම් නියෝගයක් අගවිනිසුරු ඇතුළු හත්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ප‍්‍රකාශ කර තිබුණි. ජනාධිපති මුෂ්රාෆ් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබූ එම නියෝගය නොසලකාය. ඒ සමග හදිසි තත්ත්වය යටතේ ප‍්‍රකාශ කර තිබූ පළාත් ව්‍යවස්ථා නියෝගය යටතේ අලූතෙන් දිවුරුම් දෙන ලෙස විනිශ්චයකාරවරුන්ට නියෝග කළේය. එහෙත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබූ නියෝගයට පටහැනිවූ බැවින් අගවිනිසුරු චෞද්‍රි ඇතුළු උසස් අධිකරණයේ විනිසුරුවරුන් බහුතර පිරිසක් පළාත් ව්‍යවස්ථා නියෝගය යටතේ දිවුරුම්දීම ප‍්‍රතික්ෂේප කළහ. 

දිවුරුම්දීම ප‍්‍රතික්ෂේප කළ අගවිනිසුරු ඇතුළු සියලූ විනිසුරුවරුන් නිවාස අඩස්සියේ තබන ලද අතර නව අගවිනිසුරු ධුරයට දිවුරුම් දුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතුරින් කෙනකු පත්කරන ලදි. එහෙත් පත්කරන ලද නව අගවිනිසුරු පිළිගැනීම නීතිඥ ප‍්‍රජාව ප‍්‍රතික්ෂේප කරන ලද අතර විනිසුරුවරුන් විශාල පිරිසක් නිවාස අඩස්සියේ තබාගැනීම නිසා කිසියම් කාලයක් යන තෙක් උසාවිවල කටයුතු කරගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවිය. මුෂ්රාෆ් පත් කළ නව අගවිනිසුරු හා හිටපු අගවිනිසුරු අතර වසර දෙකක් තිස්සේ පැවති කඹ ඇදිල්ල අවසන් වූයේ අගවිනිසුරු චෞද්‍රි නැවත අගවිනිසුරු ධුරයට පත්වීමෙනි. ඉන්පසු කම්කරු මහාධිකරණයේ ප‍්‍රධාන විනිශ්චයකාරවරයා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු දිවුරුම් දුන් විනිශ්චයකාරවරුන්ට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලූ අගවිනිසුරු චෞද්‍රි ප‍්‍රමුඛ 14 දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් අධිකරණ නියෝගයට පටහැනිව හදිසි තත්ත්වයක් යටතේ දිවුරුම් දුන් විනිසුරුවරුන්ට ඒ කරන ලද වැරදි ක‍්‍රියාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ගන්නා ලෙසත් එසේ නොවේ නම් ඔවුන්ට එරෙහිව උසාවි අපහාස නීතිය යටතේ දඬුවම් කරන බවත් ප‍්‍රකාශ කළේය. ඒ අනුව මුෂ්රාෆ් අගවිනිසුරු ධුරයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ඇතුළු නීති විරෝධී දිවුරුම්දීමට සම්බන්ධ වූ සියලූ විනිසුරුවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් සමාව ලබාගැනීමට සිදුවිය. 

මෙම ආරාවුලේදී ආණ්ඩුව අනුගමනය කළ උද්දච්ච හා දරදඬු ප‍්‍රතිපත්තිය අගවිනිසුරුවරිය තනි කොට පහරදීමට තිබෙන හැකියාව අහිමි කොට එය සමස්ත අධිකරණයට එරෙහිව කැරෙන ගොරෝසු අරගලයක් බවට පත් කළේය. 

පාර්ලිමේන්තුව හා අධිකරණය 

කවර හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුවට නියෝග දීමේ බලයක් අධිකරණයට නැතැයි කියන කතාවේ ඇත්ත නැත්තද ඉතාමත් කෙටියෙන් වුවද සලකා බැලීම වැදගත්ය. 1980 දෙසැම්බර් 9 වැනිදා අබේරත්න පිලපිටිය සම්බන්ධයෙන් කතානායක බකිර් මාකර් මහතා දෙන ලද තීන්දුවෙන් එය ආරම්භ කළ හැකිය. අබේරත්න පිලපිටිය 1979 මැතිවරණයේදී කලවාන ආසනයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරයා වන අතර ඔහුගේ පත්වීමට එරෙහිව සුළු ඡන්ද ප‍්‍රමාණයකින් පරාජය වී සිටි සරත් මුත්තෙටුවේගම විසින් පවරන ලද ඡන්ද පෙත්සමක් පිලපිටියගේ අවාසියට හේතුවන ලෙස විභාගවෙමින් තිබියදී ඔහු එකදිගට නිවාඩු ලබාගැනීමකින් තොරව පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා ඔහුගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමිවිය. ඒ සමග ආණ්ඩුව කළේ එම අසුනට අබේරත්න පිලපිටියම අලූතෙන් නම් කිරීමය. ඒ අනුව ඔහුගේ නීතිඥයන් ඡන්ද පෙත්සම් විභාගයේදී තර්ක කළේ දැන් පාර්ලිමේන්තුවේ සිටින්නේ ඡන්දයෙන් තේරී පත්වූ පිලපිටිය නොව පාර්ලිමේන්තුවට නම් කොට පත් කරනු ලැබූ පිලපිටිය කෙනකු වන නිසා ඡන්ද පෙත්සම් විභාගය තවදුරටත් ඉදිරියට ගෙන නොයා යුතු බවය. එහෙත් ඒ තර්කය අධිකරණය පිළිනොගන්නා ලදි. ඡන්ද පෙත්සම් තීන්දුවෙන් ඔහුගේ තේරීපත්වීම අවලංගු කරන ලදි. එහෙත් ඔහු මන්ත‍්‍රීකමින් ඉල්ලා අස්නොවී පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි විය. මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද පෙත්සම් තීන්දුව අනුව අතුරු මැතිවරණයකට නාමයෝජනා කැඳවා අතුරු මැතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. 

එජාප කලවාන අතුරු මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළේ නැත. ඒ වෙනුවට පිලපිටිය කළේ තමාගේ මන්ත‍්‍රීකම පිළිබඳව කතානායකවරයාගෙන් තීන්දුවක් ඉල්ලා සිටීමය. ඔහු කියා සිටියේ තමා කලවාන ආසනය සඳහා නැවත තේරී පත්වී තිබෙන්නේ පත් කළ මන්ත‍්‍රීවරයකු වශයෙන් වන නිසා කලවාන ආසනය සඳහා තවත් ඇබෑර්තුවක් නැති බවය. ඒ ගැන තීන්දුව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කතානායකවරයා ඊට දෙන ලද තීන්දුව වූයේ පිලපිටිය මහතා ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ පත් කළ මන්ත‍්‍රීවරයකු වන නිසා ඔහු කලවාන ආසනයේ මන්ත‍්‍රීවරයා වශයෙන් පිළිගන්නා බවය. 

කතානායකවරයාගේ මෙම තීන්දුවට එරෙහිව කතානායකවරයාට එරෙහිව විරුද්ධ පක්ෂ විශ්වාසභංග යෝජනාවකට කල් දුන්නේය. කතානායකවරයා එම තීන්දුව දෙන අවස්ථාව වන විට, ආසනය අහිමිවූ පිලපිටිය ඡන්ද පෙත්සම් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඒ නඩුවෙන්ද ඔහු පරාජය වී තිබුණි. කතානායකවරයා එම තීන්දුව දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවද නොසලකාය. 

කතානායක දුන් තීන්දුව ආරක්ෂා කිරීම පිණිස ආණ්ඩුව කළේ කලවාන ආසනයට මන්ත‍්‍රීවරුන් දෙදෙනකු සිටිය හැකි ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමය. ශ්‍රේෂ්ඨාධිකරණය ඊට කන් දුන්නේ නැත. එම විභාගයේදී කතානායකවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාකලාපය අගවිනිසුරුවරයා දැඩි ලෙස ප‍්‍රශ්න කළේය. එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව කතානායකවරයාට එරෙහිව දෙන ලද තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ තේරීපත්වූ සරත් මුත්තෙට්ටුවෙගමට ඉඩදීම සඳහා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වීමට අබේරත්න පිලපිටියට සිදුවීමය. එසේ නොවේ නම් කතානායකවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් වන්නට තිබුණේ ඒ අවස්ථාවේදීය. 

කතානායකවරයා දෙනු ලබන සමහර තීන්දු අධිකරණ විමර්ශනයකට ලක් කළ හැකි බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තීන්දු දෙකක්ම(Rajendra Singh Rana vs Swami Prasad Maura (2007) සහ Jagjit Singh vs Speaker State of Haryana(2012) )ලබාදී තිබේ. පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය පාකිස්තානු අගමැතිවරයාට තනතුර අහිමි කිරීමට හේතුවූ නඩු තීන්දුව සඳහා පාදක කොටගෙන තිබෙන්නේද කතානායකවරයාගේ සමහර තීරණයන් අධිකරණ විමර්ශනයකට ලක් කළ හැකි බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබුණු එම තීන්දු දෙකය.



[Sunday, January 13, 2013]
අධිකරණයට අදාළ අර්බුදය තීරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙන මෙම අවස්ථාවේදී පොදු යහපත ගැන උනන්දුවක් දක්වන නිදහස් පුවත්පතක් වශයෙන් සාම්ප‍්‍රදායික මුල් පුවත් වාර්තාකරණයෙන් බැහැර වී අධිකරණ දෙකක් විසින් ලබාදී තිබෙන තීරණයන් නොසලකා දෝෂාභියෝග ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමෙන් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක ජනාධිපතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත්, දේශපාලන පක්ෂවලත්, මහජනයාගේත්, පාඨකයන්ගේත් දැනගැනීම සඳහා මෙසේ පිඬු කොට වාර්තා කරමු.

1. මේ නිසා ඇතිවිය හැකි බලපෑම 1982 ජනමත විචාරණයෙන් හා 1983 කළු ජූලියෙන් ඇතිවූ බලපෑම තරම්ම හෝ සමහරවිට ඊටත් වඩා විනාශකාරී විය හැකිය.

2. විසම පැවැත්මක් ඇතිවිට උසස් අධිකරණයේ විනිසුරුවරයකු හෝ අගවිනිසුරුවරයකු දෝෂාභි යෝගයක් මගින් පහකිරීමේ අයිතිය හා බලය පාර්ලි මේන්තුවට තිබෙන්නේය.

3. එහෙත් පාර්ලිමේන්තුව ඒ බලය පාවිච්චි කළයුත්තේ නීතියට අනුකූලව නොවේ නම් ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූලවය.

4. ඉතාමත් පහළ තත්ත්වයක තනතුරක් දරන පුද්ගලයකු පවා එම තනතුරෙන් පහකිරීම සඳහා යොදාගත යුතු විධිමත් ක‍්‍රමයක් පවතී. අභ්‍යන්තර විනය පරීක්ෂණයකින් පසු ලබාදෙන ලද තීරණයන් සාධාරණ නොවේ නම් එම තීරණයන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ අයිතිය ඔහුට තිබෙන්නේය. උසස් අධිකරණයේ විනිසුරු වරයකු හෝ අගවිනිසුරු වරයකු තනතුරෙන් පහකිරීමේ ක‍්‍රියාවලිය තුළ ඒ තරමේ සාධාරණත්වයක්වත් නැතිනම් එය ශීලාචාර තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

5. පිලිපීන අගවිනිසුරුවරයා පහ කෙරුණේද මේ සමාන ක‍්‍රියාදාමයක් මගින් බව විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇතත්, පිලිපීනයේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමයට සමාන නැත. පිලිපීනයේ ක‍්‍රියාත්මකවන්නේ ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමයට සමාන ක‍්‍රමයකි. දෝෂාභියෝගයකට පළමු කොට පාර්ලිමේන්තුවේ තුනෙන් එකක අනුමැතිය ලැබිය යුතුය. ඉන්පසු චෝදනා පත‍්‍රය සකස් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ අධිකරණ කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි. ඉන්පසු චෝදනා විභාග කරන්නේ පාර්ලිමේන්තුව විසින් නොව සෙනට් මණ්ඩලය විසින් ඒ සඳහා ඇතිකර ගන්නා විශේෂ විනිශ්චය සභාවක් මගිනි. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවෙ අභ්‍යන් තරයෙන් හෝ පිටතින් තෝරාගත් නියෝජිත පිරිසක් පැමිණිල්ල මෙහෙයවන්නන් ලෙස ක‍්‍රියාකරන විට විනිශ්චයකරුවන් ලෙස ක‍්‍රියාකරන්නේ සෙනට් මණ්ඩලය විසින් ඇතිකර ගන්නා ලද විනිශ්චය සභාවයි. සෙනට් මණ්ඩලයේ විනිශ්චය සභාව චෝදනා සනාථ කළහොත් එම තීන්දුව සෙනට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡුන්දයෙන්ද අනුමත විය යුතුය.

6. ශ‍්‍රී ලංකාවෙන් පූර්වාදර්ශ නැති කල ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව එංගලන්ත පාර්ලි මේන්තුවෙන් පූර්වාදර්ශ ලබාගත යුතුයැයි කියන මතයද වැරදිය. එංගලන්තයේ පවතින්නේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. එහි රාජ්‍ය බලය කේන්ද්‍රගත වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළය. විශ්වාසභංග යෝජනාවකින් රාජ්‍ය බලය දරන ආණ්ඩුවක් පරාජය කළ හැකිය. අපේ රටේ පවතින්නේ ඊට වෙනස් රාජ්‍යයේ සකලවිධ බලය පාර්ලිමේන්තුවෙන් පිටස්තර විධායක ජනාධිපති කෙනෙකු අත කේන්ද්‍රගත කෙරුණු ආණ්ඩු ක‍්‍රමයකි. විශ්වාස භංග යෝජනාවක්ද ජනාධිපති වරයා කෙරෙහි බලපාන්නේ නැත. අනෙක් අතට එංගලන්තයේ 1848න් පසුව මොනම පුද්ගලයකුට එරෙහිවවත් දෝෂාභි යෝගයක් ඉදිරිපත් වී නැත.

7. ව්‍යවස්ථාදායකයට එරෙහිව අධිකරණයට තීන්දු හෝ නියෝග දිය නොහැකිය කියන මතයද සාවද්‍යය. ඉතාමත් විශේෂ අවස්ථාවලදී ව්‍යවස්ථාදායක තීරණයන්ට එරෙහිව අධිකරණයට නියෝග හා තීන්දු දිය හැකි අතර ඒ සඳහා නිදර්ශන අසල්වැසි ඉන්දියාවෙන් ලබාගත හැකිය.

8. ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී තිබෙන අර්ථ නිරූපණය හා විශේෂ කාරක සභා තීන්දුව නිෂ්ප‍්‍රභ කරමින් අභියාචනාධිකරණය ලබාදී තිබෙන තීන්දුව සාධාරණ නොවේ නම් ආණ්ඩුව කළයුතුව තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කැරෙන ආකාරයට දෝෂාභියෝගය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම නොව, අධිකරණය ඉදිරියට ගොස් එම තීරණයන්ට අභියෝග කිරීමය. අභියාචනාධි කරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාහැකිව තිබුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිව තිබුණි. එසේ කරනවා වෙනුවට අධිකරණ තීරණයන් නොසලකා ක‍්‍රියාකිරීම මගින් ලබාදී තිබෙන පූර්වාදර්ශය විනාශකාරිය.

9. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලයට අදාළව ආණ්ඩුව ලබාදී තිබෙන වැරදි හා හිතුවක්කාරී පූර්වාදර්ශය මින්මතු ව්‍යවස්ථාවට අදාළ ප‍්‍රශ්නවලදී අධිකරණයේ අනුමැතිය නැතිව හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකිරීමේ බලයක් ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත් ලබාදී තිබෙන්නේය. එය නීතියේ ආධිපත්‍යයට තිබෙන බලය තවදුරටත් දුර්වල කොට ආණ්ඩු පාලනයේ හිතුවක්කාරී ස්වභාවය වර්ධනය කිරීමට හේතුවනු ඇත.

10. ශිරාණි බණ්ඩාරනායකගේ ධුරයේ පැවැත්ම අධිකරණය විසින් ආරක්ෂා කර තිබෙන තත්ත්වය ඉදිරියේ ජනාධිපතිවරයා විසින් අලූතෙන් පත්කරනු ලබන අගවිනිසුරුවරයාට ඉඩ ලබාදීම සඳහා අගවිනිසුරුවරිය කායික වශයෙන් ඉවත් කරන තැනකට යන්නට ආණ්ඩුවට සිදුවන්නේය. එම තත්ත්වය අලූත් අර්බුද ඇති කිරීමට හේතුවනු ඇත. නව අගවිනිසුරුවරයාට බලය තහවුරු කරගැනීම සඳහා සටන් කරන අය මර්දනය කරන පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවනු ඇත. ඒ තත්ත්වය අධිකරණයේ ගැටුම් හා අවුල් ඇති කිරීමට හේතුවනු ඇත.

11. මෙම ආරාවුල විනිශ්චයකාරවරුන් අතර සේ ම නීතිඥයන් අතරද පහසුවෙන් පහ කළ නොහැකි පීඩාකාරී මානසික වටාපිටාවක් ඇති කිරීමට හේතුවනු ඇත. එම තත්ත්වය රටේ යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමය හා ක‍්‍රියාවලිය විශාල වශයෙන් අවුල් කිරීමට හේතුවනු ඇත.

12. ඒ සියල්ලෙහි අවසාන ප‍්‍රතිඵලය වනවා ඇත්තේ නීතියේ ආධිපත්‍යයට තිබෙන පිළිගැනීම බිඳවැටී අරාජික ක‍්‍රියාකාරකම් වර්ධනය වීමය. එම තත්ත්වය දේශපාලන තලයෙහි පමණක් නොව, ආර්ථික හා සමාජීය තලවලද අවුල් ඇතිකිරීමට හේතුවනු ඇති අතර එම තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය තවදුරටත් දුර්වල කිරීමට හා කැළැල් කිරීමට හේතුවනු ඇත.


රස්තියාදුකාර ආණ්ඩුවක් හා රස්තියාදුකාර නායකයෝ

[Sunday, January 13, 2013]
රස්තියාදුකාරයන්යැ යි සමාජය කියන්නේ අණක් ගුණක් නීතියක් නොතකන, කිසිවකු කියන දෙයක් නොඅසන, හොඳ නරක නොබලා තමන්ට ඕනෑ දෙයම කරන පාදඩ ගණයේ පුද්ගලයන්ටය.

මේ ආණ්ඩුවත් එහි නායකයනුත් අඩුවැඩි වශයෙන් ඒ සියලූ ලක්‍ෂණ උරුමකරගෙන ඇති බව නැවත වාරයක් පැහැදිලි විය. ඒ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය නොනවත්වා ඉදිරියට ගෙනයෑම නිසාය.

අගවිනිසුරුවරියට එරෙහිව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ඉදිරිපත්කරන ලද දෝෂාභියෝග යෝජනාව වනාහි නීති විරෝධී, මුළුමනින්ම දේශපාලන වුවමනාවන්ගෙන් යුත් එකක් බවට සාධාරණය, යුක්තිය පිළිබඳ උකුණු මොළයක තරම් හැඟීමක් දැනීමක් තිබෙන සෑම කෙනෙක්ම එකහෙළා පිළිගත්තෝය. එහි අන්තර්ගතව තිබූ චෝදනා පදනම් විරහිත ඒවා විය. දෝෂාභියෝග විභාගය සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මුළුමනින්ම ආණ්ඩුවට පක්‍ෂපාතී එකක් විය. උත්තරීතරයැ යි තමන්ම කියාගන්නා පාර්ලිමේන්තුවෙහි මේ විශේෂ කාරක සභාව විසින් පැවැත්වුණේ කැළෑ උසාවියකි. එහි නීතියක් නොවීය. පිළිගත් කාර්ය පටිපාටියක් නොවීය. චෝදනාවලට අදාළ සාක්‍ෂිකරුවන්ගේ ලැයිස්තුවක් නොවීය. ලේඛනවල ලැයිස්තුවක් නොවීය. චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා චූදිතයාට ප‍්‍රමාණවත් කාලයක් ලබාදුන්නේ නැත. ඔප්පුකිරීමේ භාරය ගැන ප‍්‍රමිතියක් නොවීය. නඩු විභාගයෙහි විවෘතභාවයක් නොවීය. චෝදනා විභාගයට මුහුණදීමට එහි ගිය රටේ විශිෂ්ට බුද්ධිමය සම්පතක් හා කාන්තාවකවූ අගවිනිසුරුවරියට මේ කැළෑ උසාවියේ විනිසකරුවන් ලෙස පෙනීසිටි ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් සමහර දෙනකුගෙන් අසන්නට ලැබුණේ කාන්තාභාවයට නිගාදෙන අවලාදය. කාරක සභාව ඉදිරියට හොරෙන් සාක්‍ෂිකරුවන් කැඳවා කටඋත්තර සටහන් කරගත්තේ හරස් ප‍්‍රශ්න ඇසීමට චූදිතයාට අවස්ථාවක් නොලැබෙන පරිදිය. අවසානයේ ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ලියන ලද ලජ්ජාසහගත ම හා ගර්හිත ම වාර්තාව එක් රැයක් තුළ ලියා පසුදා කතානායකවරයාට භාරදෙන ලද්දේය.

ආණ්ඩුව මේ සියල්ල කරන ලද්දේ රටේ ඉහළම ආගමික නායකයන්, නීති විශාරදයන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන් හා පුරවැසියන් මේ ක‍්‍රියාවලියේ ඇති අනීතිකභාවය හා අසාධාරණභාවය ගැන බරපතළ ලෙස විවේචන එල්ලකරද්දීය. එය ඉදිරියට ගෙන නොයන ලෙස ආණ්ඩුවේ නායකයාවූ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියදීය. ඒ සියලූ ඉල්ලීම් හා අදහස් කුණු කූඩයට දමන ලදි. ඒ අතර ආණ්ඩුවේ ගොබෙල්ස් පන්නයේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය හරහා මේ රටේ මුළු අධිකරණ පද්ධතියත්, විනිශ්චයකාරවරුත් බරපතළ අවමානයට ලක්කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව අර්ථ නිරූපණය කරමින් දෝෂාභියෝග ක‍්‍රියාවලියට නීත්‍යනුකූලභාවයක් නැතැ යි කීවේය. ඉන්පසු අභියාචනාධිකරණය දෝෂාභියෝගයට අදාළ පාර්ලිමේන්තු විශේෂ කමිටු වාර්තාව බලරහිත කළේය. රටේ ඉහළම අධිකරණ දෙක දුන් මේ තීන්දුද ආණ්ඩුව විසින් කනගාටුදායක ලෙස නොසලකා හරින ලද්දේය. මේ මුළු ක‍්‍රියාවලිය මගින්ම ආණ්ඩුවත් එහි නායකයනුත් පෙන්වා ඇත්තේ තමන්ගේ උද්දච්චභාවයත්, රස්තියාදුකාරභාවයත් මිස අන් කවරක්ද?

පාර්ලිමේන්තුවේ තිබෙන වැඩි බලය යොදා ආණ්ඩුව දෝෂාභියෝග ක‍්‍රියාවලිය තමන්ට අවශ්‍ය අන්තය කරා ගෙන යනු ඇත. තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අවනත කරගන්නට නොහැකිවූ අගවිනිසුරුවරිය ධුරයෙන් පහකොට තමන් කැමති අන්තේවාසිකයකු එම ධුරයට පත්කරගනු ඇත. සිය දේශපාලන ජයග‍්‍රහණය ගැන උදම් අනනු ඇත.

එහෙත්, මේ මොහොතේ රස්තියාදුකාර ආණ්ඩුවක් හා එහි නායකයන් විසින් යුක්තිය, සාධාරණය හා නීතිය අත්තනෝමතික ලෙස නොසලකා හරිමින් රටේ අධිකරණ ඉතිහාසයේ කිසිදා නොවූ විරූ කළු පැල්ලමක් ඇතිකරන ලද බවටත්, ඒ ක‍්‍රියාව හේතුවෙන් අනාගතයේ ලාංකික සමාජය මුහුණදෙන සියලූම අහිතකර ප‍්‍රතිඵලවලට ජනාධිපතිවරයාගේ සිට අද සිටින මේ සියලූ දේශපාලන නායකයන් වගකිව යුතු බවටත් අනාගත ලාංකිකයන්ගේ දැනගැනීම සඳහා අපි මෙහි ලියාතබමු.


මැදමුලනේ ඒකාධිපතියාට ශිෂ්ඨසම්පන්න ගැහැණියගෙන් අභියෝගයක් Featured

Rate this item
(2 votes)

mr-dciktaterSrilankaxnews - අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කළ බවට ඒකාධිපති රාජපක්ෂ (ජනාධිපති රාජපක්ෂ ලෙස තවදුරටත් හැඳින්විය නොහැක. ජනාධිපති තනතුර යනු ව්‍යවස්ථාමය තනතුරකි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ගේ පවුලේ වුවමනාවට අනුව රටේ නීතිය බල්ලට දමා කටයුතුකරන පාලකයා ඒකාධිපති මෘගයකු මිසක වෙන තිරිසන් මෘගයකු වන්නේ නැත. එම නිසා නිවැරදිවම අද රටේ පලනය අල්ලාගෙන සිටින්නා ඒකාධිපතියකු වේ
. එනම් ඒකාධිපති මහින්ද රාජපක්ෂ නම් පාලකයා ) විසින් අද ලිපියකින් ඇයට දන්වා තිබේ.
එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගොස් තමන්ගේ වියරු ආශාව සන්තර්පනය කර ගැනීමට ගන්න ලද තවත් එක උත්සහයකි. මෙරට මීට පෙර සිටි ජනාධිපතිවරුන්ටද විවිධ චෝදනා එල්ල වීතිබේ. විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ දී එවැනි බරපතල චෝදනා එල්ල විය. ඒ එසේවූ නමුත් ඔවුන් කටයුතු කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට යටහත්වය.. එසේ නොමැතිනම් නීතියේ ලිහිල් තැන් වලින් රිංගා ගොස්ය. ප්‍රසිද්ධියේ මහ දවාලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට ඔවුන් කිසිවෙකුත් කටයුතු කළේ නැත.. අඩුම තරමින් ඒ වෙනුවෙන්වත් ඔවුන්ට ශිෂ්ඨ සම්පන්න බාවයක් තිබිණි.
එහෙත් වර්ථමානය යනු ඊනිව්ස් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ හැඳින්වීම අනුවම මැදමුලනේ ගංකබරයන්ගේ දේශපාලනය රජවී ඇති යුගයකි. නීතියක් රීතියක් අද රටේ ඇත්තේ නැත. ඉතිහාසයේ කාලකන්නි සහගත යුගය මේ යැයි කියන්නට අද පැකිලිය යුතු නැත.
කෙසේ නමුත් ඒකාධිපති පාලකයන්ට බයේ සිටිනවා වෙනුවට ඒකාධිපතියාගේ මෙම ලිපිය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීතිමය වලංගු භාවයක් නොමැති ලිපියක් බැවින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තනතුරින් ඉවත් නොවීමටත් ඒකාධිපතියාගේ තීන්දුව නීතිය හමුවේ අභියෝගයට ලක් කිරීමටත් තීරණය කර තිබේ.
එමෙන්ම මෙම තීන්දුව නීතිවිරෝධී යැයි තීරණය කිරීමට නීතිඥ ප‍්‍රජාවද විනිසුරු ප‍්‍රජාවද තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ඒකාධිපති රාජපක්ෂගේ ලිපිය නීති විරෝධී සහ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ මෙලෙසය.
දෝෂාභියෝගය විනිශ්චය කළ තේරීම් කාරක සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරවන්නක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සරිලන නියමිත නීතිමය බලයක් සහිත ආයතනයක් පත්කර දෝෂාභියෝගය විනිශ්චය කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දුන්නේ ය. මෙය ශ‍්‍රී ලංකාවේ කිසිවෙකුට මග හැර යා නොහැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ එකම අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් වන නිසාවෙනි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව අනුව යමින් අභියාචනාධිකරණය තේරීම්කාරක සභා තීන්දුව ශූන්‍ය කරන නියෝගයක් දුන්නේ ය.
එවිට පත්කළ තේරීම් කාරක සභාව නීති විරෝධී බල රහිත එකක් වන අතර එහි තීන්දුවද බල රහිත වන්නේය. ඒ පිලිබඳ පාර්ලිමේන්තුවේ විවාදයද බල රහිත එකක් වනවා ඇත.
එසේ තිබියදී පාර්ලිමේන්තුව විවාදයක් පවත්වා ඡන්දයක් ද විමසූ නමුත් එහිදී විවාදය සහ ඡන්දය පවත්වා තිබුනේද තේරීම් කාරක සභා වාර්තාව ගැන හෝ අගවිනිසුරුවරියගේ චෝදනා සම්බන්ධයෙන් නොවේ. පැහැදිලිවම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ ඇතුලත්ව තිබුනේ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවකි. එවැනි යෝජනාවක් න්‍යාය පත‍්‍රයේ තිබී වෙනත් යෝජනාවකට ඡුන්දය විමසීමට නොහැකි බව නීතියකට ගරු නොකරන ඒකාධිපතියෙකුට හැර වෙනත් ශිෂ්ඨ සම්පන්න ඕනෑම කෙනෙකුට වැටහී යා යුතුය.
පාසල් යන කාලයේ පන්තියේ සාහිත්‍ය සමිතියක පවා න්‍යාය පත‍්‍රයක් සකස් කර ඒ අනුව මිස වෙනත් ආකාරයකට කටයුතු කළ නොහැකි බව දැන ගැනීමට පාසැලකට ගිය ඕනෑම අයෙකු දන්නවා ඇත. ඊට මහා රාජ්‍ය තාන්ත‍්‍රික ඥානයක් අවශ්‍ය නොවේ.

අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ඡන්ද විමසීම පවා නිවැරදිව සිදුකර නොමැති අවස්ථාවක විධායක ජනාධිපතිවරයාට අගවිනිසුරු ඉවත් කිරීමේ ලිපියක් යැවිය නොහැක. එසේ යවා ඇතිනම් එම ලිපිය නීති විරෝධී ලිපියකි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අගවිනිසුරු ඉවත් කළ හැක්කේ එහි නියමිත ක‍්‍රියා පටිපාටි අනුව මිස ජනාධිපතිවරයාට හිතෙන හිතෙන වියරු ආකාරයට නොවේ.(තමන්ට හිතෙන හිතෙන වියරුආකාරයෙන් කටයුතුකරන පාලකයා මෘග ඒකාධිපතියෙකු බව නැවත මතක් කරමු)
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපතිවරයාට වුව උල්ලංඝනය කළ නොහැක. ඔහුද දිව්රුම් දෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රැකීමට ය. මෙය චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර එහිදී ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමි මුක්තිය අහිමි වනවා ඇත. එනම් මේ සම්බන්ධව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකිය. ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය. මන්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේදී ඔහුට හිමි මුක්තිය අහිමි වන බැවිනි.

එහෙත් රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දමා බල තන්හාවෙන් පෙරේත කමින් ජීවිත කාලයම රාජ්‍ය පාලකයා ලෙස වැජඹෙන්න්ට ලේ පිපාසාවෙන් පෙළෙන මෘග ඒකාධිපතියකු අධිකරණයට ඒවි යැයි සිතන්නට නොහැකිය. මෙවැනි මෘගයන් පවුල් පිටින් පන්නා දැමීමට නම් එය කල හැක්කේ මේ රටේ ජනතාවටම පමණි. කොයි ඒකාධිපතියත් එකාරාශී වූ ජන බලයට යටත් වන බව ලෝක ඉතිහාසය මුළුල්ලේ පෙන්වාදුන් සතයකි. එහෙත් ගැටළුව තිබෙන්නේ මේ සත්‍ය තේරුම් ගත් ජනතාවක් නොමැති කමටත් වඩා මේ ජනතාවට තේරුම් කර දීමට තරම් ශක්ති සම්පන්න දේශපාලන බලවේගයක් නොමැති කමය. 
කට්ටවාදී වුවමනාවන් පෙරට ගෙන කළයුතුව තිබෙන සටන පැත්තක දමා බොරුවට රස්තියාදු ගසන දේශපාලන කල්ලි කණ්ඩායම් අද මාධ්‍ය හරහා කරන දේශපාලනයක් හැර වෙන යමක් කිරීමට තරම් හැකියාවක් සහිත නොවේ . ඒ කරුමය නිසා අද අවාසනාවකට මේ වියරු ඒකාධිපතිත්වයට එරෙහිව තනිවම සටන් කරන්නට සිදුව ඇත්තේ එක් ශිෂ්ඨ සම්පන්න ගැහැණියකට පමණය.
ඇය ශිෂ්ඨ සම්පන්න ගැහැණියක ලෙස හැඳින් වූයේ ශිෂ්ඨත්වය යනු කුමක්දැයි හඳුනන්නකුට හැර මේ මෘග වියරුව පරාජය කළ යුතු බැව් නොහැ‍ඟෙන බැවින් පමණක් නොවේ. බරපතල ජීවිත අවදානමක් පවා තිබියදී දෙගිඩියාවකින් තොරව මේ වියරු මෘග ඒකාධිපතිත්වය පරාජය කෙරුම ඈ තම උත්තම වගකීම කොටගෙන ඇති බැවිනි. ඒ නිසා ඈ සැබැවින්ම ශිෂ්ඨසම්පන්න ගැහැණියකි.
Last modified on Sunday, 13 January 2013 22:15