Thursday, January 17, 2013

ගුරුදින විග්‍රහය

කිරිබත් සහ මළබත්
විහාර මහ දේවිය නැත්නම් ලංකාවේ ඉතිහාස හෝ මහා වංස කතාව මේ විදිහට ලියැවෙන්නේ නැත. විහාර මහ දේවි චරිතයෙන් පෙන්වන්නේ ලංකාවේ වංස කතාව වෙනස් කරන්න දෛවය විසින් කාන්තාවක් නිර්මාණය කළ ආකාරයය. විහාර මහ දේවියගේ කතාවේ මුල මැද සහ අග විග්‍රහ කර බලන විට ඉතිහාසය විසින් ඇයට පවරපු රාජකාරියක් ඇති බව පෙනෙන්නට තිබේ. එය නම් එකල රජ කළ එළාර රජුගේ පාලනය අන්ධ භක්තියෙන් පිළිගත් ජනතාව සහ එළාරට බයේ ප්‍රාදේශීය රජකම් බේරා ගන්න එළාරගේ පාලනයට අභියෝග නොකළ ප්‍රාදේශීය රජවරු එළාරට එරෙහිව අවදි කිරීමේ අභියෝගය ඇය බාර ගැනීමය.


ඇය තමා නිර්භය එඩිතර කාන්තාවක් බව මුලින්ම පෙන්නුවේ ඇගේ පියා වූ කැලණියේ රජ කළ තිස්ස, තෙරුන් වහන්සේ නමක් මරා දමන්න ගත් අසාධාරණ තීන්දුවට එරෙහිව ස්වභාවධර්මයා කෝප වී මුහුද ගොඩගලපු අවස්ථාවේය. මුහුද ගොඩගැලීමේ ශාපයෙන් ජනතාව මුදා ගන්න නම් මිනිස් බිල්ලක් දිය යුතු යැයි දෛවඥයන් කියද්දී මිනිස් බිල්ලක් හොයාගන්නේ කෙසේදැයි සිතමින් රජු අසරණ විය. රජුගේ දූ කුමරිය විහාර මහ දේවිය මුහුදට බිලිවීමට කැමැති වූයේ ජනතාව එම ශාපයෙන් මුදා ගන්නටය. ඇය රැගත් යාත්‍රාව මුහුදට පා කළ විට මුහුද ගොඩගැලීම නතර විය. ඇය රැගත් යාත්‍රාව ගසාගෙන ගියේ දකුණටය. එහි රජ කළ ප්‍රාදේශීය රජෙකු වූ කාවන්තිස්ස ඇයව විවාහ කර ගත්තේය.


එළාර රජුට බියේ සිටි කාවන්තිස්ස රජතුමාව එළාරට එරෙහිව මෙහෙයවන්න ඇය පළමු පියවර ගත්තේ දුටුගැමුණු කුමරා කුසෙහි සිටියදීමය. මහා වංස කතාවට අනුව විහාර මහ දේවියගේ කුසෙහි ගැමුණු කුමරා පිළිසිඳ ගෙන සිටියදී එළාර රජුගේ ප්‍රධාන යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා එහි ජලය බොන්න ‍ෙදාළ දුකක් ඇති විය. එළාර ඉදිරියේ නිවට නියාලුව සිටි කාවන්තිස්සට සිය බිසවගේ ‍ෙදාළ දුක සංසිඳුවන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු විය. ඔහු කෙසේ හෝ බිය සැක හැර සිය යෝධයා වූ වේළුසුමන අනුරාධපුරයට යැව්වේ එළාරගේ යෝධයා මරා එම කඩුවත් හිසත් රැගෙන එන්නටය.


විහාර මහ දේවිය එම ‍ෙදාළදුක මුවාවෙන් කාවන්තිස්ස රජුගේත් රට වැසියාගේත් එළාර රජු කෙරෙහි ඇති බිය නැති කරවන්න උත්සාහ කළේ එලෙසය. එසේම එළාරගේ රජදහනට ගොස් ඔහුට හානියක් කොට නිරුපද්‍රිතව එන්න යෝධ සෙනෙවියෙක්ද ඇය ඒ හරහා නිර්මාණය කළාය.
දුටුගැමුණු තරුණ වියට පත්වූ පසු ඇය දුටුගැමුණුව එළාරට එරෙහි සටනට සූදානම් කළේ කාවන්තිස්ස එම අභියෝගය බාර නොගන්නා බව දැනය.
විහාර මහ දේවිගේ ඒ ඓතිහාසික කාර්ය භාරය එස්. මහින්ද හිමියන් කවි කළේ මෙලෙසය.


රටක් ගලවන්න මුවගින් පරිහානි
කතක් තවම ඔබ මෙන් පොහොසත් නූනි
මතක් වන එබව මගේ පෙම්බර මෑණි
කෙතෙක් හොඳද ලෝකෙට සිංහල ගෑනී


එස්. මහින්ද හිමියන් මෙලෙස කවියෙන් කීවේ විහාර මහ දේවිය මෙන් කතක් යළි ඉපදෙයි දැයි නොදැනය.
ඒත් අද මෙරට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මුල් කර ගෙන දිග ඇදෙන දෝෂාභියෝග සටන දෙස බලන විට ශිරාණි බණ්ඩාරනායකගේ වීර කාව්‍යයත් විහාර මහා දේවිගේ වීර කාව්‍යයත් අතර සමානකම් නැතිවා නොවේ.


මහින්දගේ ආණ්ඩුවත් එදා එළාරගේ ආණ්ඩුවට සමානය. ඔහුට අභියෝග කරන්න විපක්‍ෂයක් නැත. ඔහුගේ ආණ්ඩුවෙන් බැට කන ජනතාව නැගිට්ටුවන්න කවුරුවත් නැත. එම නිසා ඔවුන් අකැමැත්තෙන් වුවද නිහඬව සිටී.


ශිරාණි බණ්ඩාරනායක ඇතුළු විනිසුරු මඬුල්ල දිවි නැඟුමට එරෙහිව දුන් තීන්දුවත්, ඉන් පසු ආණ්ඩුවෙන් ආ තර්ජනයත් හමුවේ ඇය නොසැලී සිටි ආකාරයත් විහාර මහ දේවිය මුහුදට බිලි වෙන්න ගත් තීරණයට නොදෙවැනි නැත.
'මේ සටනින් මට සියල්ල අහිමි වුවත් ජනතාවට යමක් ඉතිරි කර යන්න මට පුළුවන්.'


ඇයගේ මෙම කතාවෙන්ම පේන්නේ මහින්දගේ ආණ්ඩුව නම් වූ මුහුදට ඇය පැන්නේ මුළු රටම වෙළාගත් බිය අධිකරණයත් ගිල ගතහොත් ජනතාවගේ නිදහස අහිමි වෙන බව දැනගෙනය. ඇය එයට එරෙහිව සටන් කරන්න ගන්නා වූ තීරණය මුහුදට බිලි වෙන්න විහාර මහා දේවී ගත් තීරණයත්, එළාර රජුට එරෙහිව කාවන්තිස්ස රජු ඇතුළු රටවැසියා සටනට සූදානම් කරන්න ගත් තීරණයට සමානය. දෝෂාභියෝගයට මුහුණ දෙන්නටත්, දෝෂාභියෝගය තුනෙන් දෙකකින් සම්මත වී තිබියදී අගවිනිසුරු ධුරයෙන් ඉවත් නොවන්නටත් ගත් තීරණ මහා සිංහල වංස කතාවේ විහාර මහා දේවියට හැරෙන්න අන් කාන්තාවකට ගත හැකි යැයි සිතිය නොහැකිය.


ඇය දිවි නැඟුම පනතට එරෙහිව දුන් තීන්දුවට පසු ආණ්ඩුවෙන් ආ බලපෑම්වලට හිස නැමුවා නම්, ඇය තමාට එරෙහි දෝෂාභියෝගයට බයේ ධුරයෙන් ඉවත් වූවා නම් දෝෂාභියෝගය තුනෙන් දෙකකින් සම්මත වූවාට පසු එයට බයේ ඉවත් වූවා නම් අද මහින්දගේ ආණ්ඩුව දිනුම්ය.


'ඒ කියන්නේ දෝෂාභියෝගයෙන් මහින්දගේ ආණ්ඩුව පැරදුණාද.......?'
'මොන ඔළමොට්ටළ කතාවක්ද ඒ................?'
'ඒක තමයි වර්ෂයේ හොඳම විහිළුව.......'
මෙහෙම අහන්නේ, මෙහෙම කියන්නේ අගවිනිසුරු නිල නිවෙස ඉදිරිපිට ඇමැතිවරු කෑවේ කිරිබත් කියල හිතාගෙන ඉන්න අයය. ඒ කෑවේ ජයග්‍රහණයේ කිරිබත් නොව පරාජයේ මළබතය.


ඔවුන් දිනල කිරිබත් කන්න ඕනා අගවිනිසුරුවරිය ඉවත් වූවා නම්ය. එසේ වූවා නම් දෝෂාභියෝගයට එරෙහිව අධිකරණය දුන් තීන්දු අතීතයට එක් වේ. එහි බලයක් නැති වේ. එවිට මහින්ද පත් කරන අගවිනිසුරුවරයාගේ ධුරයේ නෛතික බලය ප්‍රශ්න කරන්න කිසිවකුට නොහැකිය. ඇය ඉවත් නොවීමෙන් දෝෂාභියෝගයට එරෙහිව අධිකරණය දුන් තීන්දු බල සහිතය. ඒ අනුව දෝෂාභියෝගයට එරෙහිව දුන් තීන්දුවල නෛතික බලය මත ඇය තවමත් මෙරට අගවිනිසුරුය. මහින්ද පත් කළ නව අගවිනිසුරුවරයා දෙන තීන්දු සහ තීරණවල නෛතික බලය ගැන ඉදිරියේදී මෙරට අධිකරණයේ පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයේද ප්‍රශ්න කිරීම්වලට ලක් විය හැකිය.


අනෙක දෝෂාභියෝගය නිසා 2008 අය - වැයට පසු පළමුවරට මහින්දගේ තුනෙන් දෙකේ ආණ්ඩුවෙන් මන්ත්‍රිවරු හතර දෙනෙක් ආණ්ඩුවට එරෙහි වී ඇත. එරෙහි වී ඇත්තේ 1956 දීත්, 1960දීත්, 1970 දීත්, 1994 දීත් ශ්‍රී ල.නි.ප.යට බලයට එන්න පාර කපල දුන්න පරණ වමය. ප්‍රමාණයෙන් කුඩා වුණත් මෙය මහා ගුණාත්මක පිපිරිල්ලකි. එළියෙන් ඇතුළට මිස ඇතුළෙන් එළියට යෑමට නොහැකි සේ සවි ශක්තිමත්ව හදා ඇති මහින්දගේ බලකොටුවේ යකඩ ගේට්ටු කඩා ඕනෑම අයෙක්ට එළියට යන්න තියෙන බය නැති කරපු පිපිරිල්ලකි.


1975ට පසු කොන්ද කඩා ගත්තා යැයි කී පරණ වම යළි ජාතියට කොන්ද පෙන්නූ පළමු අවස්ථාව මෙයය. අනාගතයේ මේ වගේ යෝධයන් බලකොටුවේ ගේට්ටු කඩාගෙන එළියට ආවොත් මහින්දගේ ආණ්ඩුව හාන්සිය. වැටෙන්නේ නැහැ වට්ටන්න බැහැ කිව්ව ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම ආ පළමු තර්ජනය මෙයය.
මෙතැනට පාර කපල දුන්නේ ශිරාණි බණ්ඩාරනායක නම් වූ නූතන විහාර මහා දේවියය. ඇයට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගන්න යැයි මෙරට මහ නායක හිමිවරු ඇතුළු අනෙකුත් ආගමික නායකයන් දෙවරක්ම ඉල්ලා සිටියදී එයට කන් නොදුන් මේ ආණ්ඩුව එළාරට නොදෙවැනි ආණ්ඩුවකි.


අගවිනිසුරුවරිය පිටුපස එන්.ජී.ඕ. කල්ලි, විදේශ ඔත්තු සේවා සිටිනවා යැයි චෝදනා කළ දේශහිතෛෂීයෝ, දේශප්‍රේමියෝ, ජාති මාමකයෝ මේ මහා දේශප්‍රේමී දේශ හිතෛෂී, ජාතිමාමක ශාසන ළැදි ආණ්ඩුව ගමේ ඉස්කෝලෙට ගිය සිංහල බෞද්ධ කුල කාන්තාවක් වූ අගවිනිසුරුවරියව ඇදලා එළියට දමන විට හුරේ දැම්මේ ලජ්ජාවකින් තොරවය. අද ගලේ පහරපු බළලෝ වගේ බලාගෙන ඉන්නේ ජාති ආලය, ශාසන ආලය, දේශප්‍රේමය බල්ලට දමලාය. අන්‍ය ආගමිකයකු ආණ්ඩුවේ උසස් ධුරවලට පත්වන විට අන්‍යාගමික කුමන්ත්‍රණ කියා කෑ ගසන මේ දේශප්‍රේමීන් අද ඉන්නේ කටවල්වල මුකවාඩම් දමාගෙනය. හිටපු අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව එ.ජා.ප.ය දෝෂාභියෝගයක් ගෙන ආ වෙලාවේ මේ දේශප්‍රේමීන් කීවේ සරත් සිල්වාට පසු අගවිනිසුරු ධුරයට පත්වීමට සුදුසුකම් ලැබ තිබෙන විනිසුරුවරයා කතෝලිකයකු බවත්, මෙය පල්ලියේ කුමන්ත්‍රණයක් බවත්ය.


කොහොමත් ආණ්ඩුවත් එක්කම අද මේ දේශප්‍රේමීයොත් ඉන්නේ පරාජය වී කුජීත වෙලාය. මොවුන් හිතන්නේ තමන් දින්නා කියලාය. මොවුන් හිතන්නේ රටේ මිනිසුන්ට මේ ප්‍රශ්නේ දැනෙන්නේවත් නැහැ කියාය.


ටී.ඩී.එස්. දිසානායක ලියපු ජයවර්ධනගේ ලංකාව නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි 1970 - 77 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ එකල අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අධිකරණය තුළ ඇති දැඩි කොට හදාගත් විනිසුරුවරයෙක් සිටියේය. ඔහුව අධිකරණයේ ඉහළම තැනට රැගෙන ආ ෆීලික්ස් ඩයස් ඔහු ලවා ආණ්ඩුවට ඕනෑ තීන්දු ලියවා ගත්තේය. ඔහුගේ නම ජයා පතිරණය. ඒ කාලයේ කොළඹ ශාන්ත තෝමස්, රෝයල් පාසල් ක්‍රිකට් තරග පවත්වද්දී විනිසුරුවන් වැරැදි තීන්දු දෙන විට කොල්ලෝ කෑ ගැහුවේ 'අඩෝ ජයා' කියලාය. පසුව මෙය ගමේ පාසලේ ක්‍රිකට් තරගවලටත් ගියේය. අවසානයේ ජයා පතිරණ විනිසුරුවරයාට පාරේ බැහැල යන්නත් බැරි විය. පාරේ යන කොල්ලො කුරුට්ටොත් 'අඩෝ ජයා' කියල කෑ ගැසූහ.


හෙට අනිද්දා වන කොට ලෝකයා ලංකාවට කෑ ගහන්නේ අඩෝ කියල නොව 'පරෙයා ස්ටේට්' කියලාය. පරෙයා ස්ටේට් කියන්නේ ආර්ථික සම්බාධක පනවල ජාත්‍යන්තර සම්බන්ධතා අත්හිටුවල ලෝකයෙන් කොන් කරපු රාජ්‍යයන්ට. එ. ර්ථීචපඪචඩ කියන වචනයට සිංහල ශබ්ද කෝෂයේ තියෙන්නේ පරයා, නීචයා, කියන වචනය.


උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments: