Saturday, September 1, 2012


චුටීගේ අතීතය

සමහ‍ර විට‍ ඔබ අසා ඇතී සමහරු කියනවා,"මටනම් පහුගිය අතීතය මතක් කරනකොටත් තිත්තයි" බොහෝම රසවත් අතීතයක්
තමයි මටනම් තියෙන්නේ.මතක් කරනකොටත් ආසයි.සමහරු කියන්නේ.කොහොම වුනත් අපී හැමෝටම අමතක කරන්න
බැරි අතීතයක් තියෙනවා.නොදැනුවත්වම ඒ අතීතය අපේ මතකයට නැගෙනවා.ඒ වෙලාවට එක්කෝ සිනහා යනවා, නැත්නම්
දුක හිතෙනවා.සමහරවිට තරහා එනවා.චූටිටත් ඒ වාගේ අමතක කරන්න බැරි අතීතයක් තියෙනවා.දරිද්‍රතා ,කටුකතා,අගහිඟකම්
මැද්දේ ගෙවුනත් රසවත් සිදුවීම් බොහොමයක් තවමත් හිතේ ඉතිරි වෙලා තියෙනවා.
කවුද චූටි? චූටි තමයි මේ අතීතය ගැන ලියන්නේ.චූටි කිව්වට දැන්නම් චූටි නැහැ.ඒවුනත් තවමත්බොහෝ දෙනෙක්‌  චූටි කියනවා.
බබා කියලා කථාකරපු කට්ටියකුත් හිටියා.ඒගොල්ලො හිටියේ පිටකෝට්ටේ මිරිහානේ.මිරිහානේ කිව්වට මදිනේ.හරියටම
කියනවානම් රජමහා විහාර පාරේ.ඒ කියන්නේ චූටි ඉපදුනෙත් වැඩි කාලයක් හැදී වැඩුනේත් මිරිහානෙම තමයි.හොඳයි,දැන්
ඉතින් චූටි මම වෙන්නම්.මම පොඩි කාලෙම චූටි කියලා නම රෙජිස්ටර් කලේ අපේ අම්මා.කොයි වෙලාවෙත් චූටි ,චූටි,කියලා
තමයි කථා කලේ.ඉතින් ගමේ හැමෝටමත් මම චූටි වුනා.හැබෑම නම දන්නේනම් මාත් එක්ක ඉස්කෝලෙ ගිය යාළුවෝ
විතරයි.
කොයි ඉස්කෝලෙටද ගියේ? මම ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට.අපේ අම්මා මාව ඉස්කෝලේ එක්ක යන්න භාරදීලා තිබුනේ
ඇලිස් ආච්චිට.උදේම ඇලිස් ආච්චි මාවත් තව කොල්ලො කෙල්ලෝ රෑනක් එක්ක ඉස්කෝලෙට එක්ක යනවා.මට මතකයි ඇලිස් ආච්චි
දවල් ඉන්ටවල් වෙලාවට කිරි හදලා කෝප්පෙකට දාලා අපිට‍ දෙනවා.එයා ඒ වැඩ කරන්න අපී හිටපු පංතිය කිට්ටුව මේසයකුත්
තියාගෙන හිටියා.ඒ කිට්ටුවෙන් අච්චාරු පළතුරු දිවුල් සම්බෝල විකුණන ආච්චිලා කීපදෙනෙකුත් හිටියා.ඇයි අයිස්ක්‍රීම් විකුණන
මුනී ත් ඒ ලඟමයි හිටියේ.ඉස්කෝලේ විවේක කාලය ලංවෙද්දී ,අයිස්ක්‍රීම් පෙට්ටියත් එක්ක සයිකලේ පැදගෙන මුනී එනවා.
කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට පොරකනවා අයිස්ක්‍රීම් ගන්න.අච්චාරු ආච්චිලාටත් වෙලඳාම සරුයි.ප්‍රාථමික අංශයේ
විවේක කාලය ඉවරවුනාම මුනී යනවා ආනන්දේ ලොකූ ඉස්කෝලෙට .ඒ කිව්වේ ජේෂ්ඨ අංශයට.ප්‍රාථමික අංශයේ විවේක කාලය
ඉවර වුනාමයි ජේෂ්ඨ අංශයට විවේක කාලය ලැබෙන්නේ.මම උසස්පෙළ විභාගය කරලා ආනන්ද ශාස්ත්‍රාලයෙන් අස්වෙලා යනකොටත්
මුනී එතැන අයිස්ක්‍රීම් විකුණනවා.දැන්නම් මිනිහා මැරිලත් ඇති.මුනී හොඳ මනුස්සයා.සල්ලි නැති වෙලාවට නයටත් අයිස්ක්‍රීම් දෙනවා.         (  ඉතිරි හරිය පසුවට)

No comments: