Monday, September 3, 2012


චුටීගේ අතීතයට තව එකතුවක්
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ඒ කාලයේ මිශ්‍ර පාසලක්.මාව පාසලට ඇතුළු කරන දවස්වල හිටියේ විදුහල්පතිනියක්.මගේ පංතියේ
ගැහැණු ළමයි පහළොස් දෙනෙක්‌ විතර හිටියා.ඒ එක්කෙනෙකුගේවත් නමක් මතකයේ නැහැ.එකම එක කෙල්ලෙක්ව නම්
තවම මතකයි.දිගැටි නහයක් තිබුන තලඑලලු කෙට්ටු කෙල්ලෙක් .මම කිව්වේ එයාට කොහිල කෙල්ල කියලා.එහෙම නමක් පටබැඳෙන්න හේතුව මොකක්ද කියලා හිතාගන්න නම්
බැහැ.කොහිල කෙල්ලව විතරක් මතක තිබුණේ මම උසස් පෙළ පංතියේ ඉගෙන ගනිත්දීත් එයා ඉස්කෝලේ යනවා එනවා දැකපු නිසා .කොල්ලන්ගේ නම් කීපයක් විතර මතකයි
ප්‍රසන්න ,ආනන්ද ,නිමල් ,අසෝක ,සෙනරත් ,ඒ යාළුවෝ ටික විතරයි .මගේ කිට්ටුම යාළුවා වුනේ සෙනරත් .ඉස්කෝලේ ඇරිලා එන ගමන් සෙනරත්ලගේ ගෙදරත්
ගිහිල්ලයි සමහ‍ර දවස් වල මම ගෙද‍ර ගියේ .දෙපැත්තට බකල් අල්ලපු කාකි කොට කලිසමයි ,සුදු ෂර්ට් එකයි ඇඳලා ලේන්සුවකුත් හැට්ට කට්ටකින් සාක්කුවේ එල්ලගෙන
තමයි පිරිමි ලමයි හැමෝම ඉස්කෝලෙට ආවේ.සමහ‍ර ගෑනුලමයි පාට ගවුම් එහෙමත් ඇඳගෙන ආවා.
මට දවසක් පන්තියේදී හරි වැඩක් වුනා.මට චූ බරක් හැදිලා .එළියට යන්න විදිහක් ඇත්තෙම නැහැ හොඳටම වහිනවා.පස්සේ දන්නෙම නැතුව පන්තිය ඇතුලෙම මට චූ ගියානේ .
හිනාවෙන්න එපා අවුරුදු හයේ පොඩි එකානේ.සමහරු හිනා වෙනවා.සමහරු මුණ ඇඹුල්කරන් බලා ඉන්නවා.ලජ්ජාවේ බැහැ .මොනවා කරන්නද ?පස්සේ පංතියේ ටීචර් ඇලිස් ආච්චි අතේ
ගෙදරට පණිවිඩයක් යවලා,අපේ අම්මා ඇවිත් අළුත් කලිසමක් අන්දවලා ගියා.එදා නම් ලජ්ජාවෙ බැරිවුනා .කොල්ලෝ අවුරුදු ගානක් යනකම් ඔයගැන කියලා හිනාවුණා .
                     මට කියන්න බැරිවුනානේ අපි පදිංචිවෙලා හිටියා තැන .මිරිහානේ රජමහා විහාර පාරේ සමුපකාරය ලඟම සිරිපුර වත්තේ කුලී ගෙදරක අපී හිටියේ.එකටම යාවුණ ගෙවල්
දෙකක් .අනෙක් ගෙද‍ර හිටියේ ලංසි පවුලක් .ඒ ගෙද‍ර පිරිමි ලමයි තුන්දෙනෙකුයි ගෑනු ලමයෙකුයි .ලස්සන සුදු අක්කා කෙනෙක් .ඒ කාගෙවත් නම් දැන් මතක නැහැ .මට මතකයි අපේ
අම්මයි ඒ නැන්දයි නිතරම වගේ රණ්ඩු කරනවා .ඒ මොනවටද කියලා මට නම් කිසිම තේරුමක් තිබුණේ නැහැ .
                             සිරිපුර වත්තේ හාමිනේ ඉඳහිට අපේ ගේ ලඟට ඇවිත් කථාකරලා යනවා .ගෙවල් කුලී සල්ලි ගන්න වෙන්නඇති.සිරිපුර හාමිනේට ලමයි හතර දෙනෙක්ද කොහෙද
හිටියා .මට නමින් මතක දේවප්‍රියයි ,සාමා අක්කයි විතරයි .සිංහල අවූරුද්දට අපේ තාත්තා ගේ ලඟ දෙල් ගහේ ඔංචිල්ලාවක් බඳිනවා.වටපිටේ ඉන්න ලමයි හුඟ දෙනෙක්‌ එනවා
ඔංචිලි පදින්න .සාමා අක්කාත් නොවැරදීම එනවා .එයා ඔන්චිල්ලාව පදින්නේ මාවත් ඔඩොක්කුවේ තියාගෙනයි.තරමක් උඩට යනකොට නම් මට බයේ බැහැ .දවසක් සාමා අක්කා
ඔංචිලි පදිද්දී මම බයටම සාමක්කගේ ඔඩොක්කුවෙන් බිමට පැන්නා.හොඳ වෙලාවට මට තුවාලයක් වුනේ නැහැ.සාමක්කා නම් හොඳටම බය වුනා .එදායින් පස්සේ නම් එයා මාව ඔංචිලි  පදින්න ගත්තේ නැහැ
                                                                                                                                                           

 .     (තව ටික දවසකින් තව ටිකක්)

No comments: